අද  අලුයම 3 ට පමණ පාකිස්ථානයේ නිරිතදිග බලූකිස්තාන් ප්‍රාන්තයට බලපෑ භූමිකම්පාවකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අල්ජසීරා පුවත් වාර්තා කළේ ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් ඉවත් කර එම ප්‍රදේශයට ප්‍රවේශ වීමට උත්සාහ කරමින් සිටින බවත් විශාල පිරිසක් ගම්බිම් අතහැර පළාගොස් ඇති බවත්ය.





එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව හර්නායි දිස්ත්‍රික්කයේ බොහෝ වැසියන් නිදා සිටියදී රික්ටර් පරිමාණ 5.7 ක භූමිකම්පාව සිදු විය. කම්පනය සිදුව ඇත්තේ කි.මී 20 ක් පමණ භූමියේ ගැඹුරකදී ය.

“අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර 100 ක් පමණ තුවාල ලබා ඇතැයි අපි ගණන් බලා සිටිමු” යැයි පළාත් ඇමති සියා ලැන්ගෝව් අල් ජසීරාට දන්වා තිබේ.
කඳු සහිත පෙදෙසක්වූ එහි භූකම්පන නායයාම් තවම සිදුවන නිසා එම ප්‍රදේශයේ මාර්ග අවහිර වීම හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වූ බවද ලැන්ගොව් පැවසීය.

බලුකිස්තානය පකිස්ථානයේ විශාලතම නමුත් අවම ජනගහනයක් ඇති සහ අඩු සංවර්‍ධනයක් ඇති පළාතක් වන අතර එය ජාතික මානව වර්‍ධන දර්ශක ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානයේ සිටී.
 බොහෝ නිවෙස් මඩ සහ ගල් වලින් නිමවා ඇති අතර කොන්ක්‍රීට් හෝ ගඩොල් ව්‍යුහයන්ට සාපේක්ෂව භූමිකම්පා වලින් හානි සිදු වීමට වැඩි ඉඩක් ඇත.
වහල සහ බිත්ති කඩා වැටීමෙන් විපතට පත් වූවෝ බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙන බවද වැඩිදුර වාර්තා කර තිබේ.
(අල් ජසීරා ඇසුරිනි - Gossiplankanews.com)