මේ වනවිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ධූරයේ කටයුතු කරමින් සිටින්නේය.
ඔහුට බන්ධනාගාර රාජ්‍ය ඇමති ධූරය ලැබෙන්නේ 2020 නොවැම්බර් අගදීය. මහර බන්ධනාගාරයේ කලබල මතුවූ අවස්ථාවේ එවකට බන්ධනාගාර විෂය භාරව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  නිසි ආකාරයට කටයුතු නොකළේය යන හේතුව මත ලොහාන්ට එම තනතුර ලැබේ.


කෙසේ වෙතත් එම තනතුර ලැබී සතියක් පමණ ගතවෙද්දී 2020 දෙසැම්බර් 07 අලුයම 1.00ට පමණ රුවන්වැලිසෑය වන්දනා කිරීමට බීමතින් ගිය බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකු ගැන වාර්තා පළවිය.
 එම පූජා භූමියට ඇතුළුවීමට ඉඩ නොදීම නිසා එහි යොදවා සිටි ආරක්ෂක අංශවලට පරුෂ වචනයෙන් දෝෂාරෝපනය කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවීය.
 තවත් කිහිපදෙනෙකු සමග වාහන කිහිපයකින් අවේලාව පැමණීම හේතුවෙනුත් බීමතින් සිටීම හේතුවෙනුත් රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට අවසර ලබාදිය නොහැකි බව එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පවසා තිබූ පසු කුණුහරුපයෙන් බැණවැදී එම පොලිස් නිලධාරීන් වහාම මාරු කරන බව පවසා රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට බැණවැදී ආපසු හැරීගිය බවට මාධ්‍ය වාර්තා පළවිය.
අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය හා වැලිකඩ සිද්ධිය ඊළඟට රාජ්‍ය ඇමතිවරයා ගැන වැඩිම ආන්දෝලනයක් මතු කළ සිද්ධි දෙකයි.


මේ අතර  අධිකරණයට අපහාස කිරීමට වරදකරු වී මේ වන විට වසර 4 ක සිර දඬුවම් ලබා අඟුනකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකට රෑට රෑට ලැබෙන කුණුහරුප දුරකථන ඇමතුමක් ගැනද මාධ්‍ය වාර්තා පළව තිබේ. අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ පාලකයන්ට දුරකථනයෙන් අමතා රන්ජන් රාමනායකව එහි ගෙන්වා ගෙන අවස්ථා 10 කදී පමණ බීමත් පුද්ගලයෙකු අමු තිත්ත කුණුහරුපයෙන් බැණවදින සිදුවීමක් ගැනද වාර්තා කර තිබේ.