dasun-shanaka-speaks

ක්‍රීඩකයන්ගේ අඩුපාඩු කතා නොකර, ඔවුන් කළ හා ඉදිරියට කළ යුතු දේවල් සාකච්ඡා කර එළඹෙන ලෝක කුසලාන තරගාවලියට විශ්වාසවන්ත ගමනක් යා යුතු බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක දසුන් ශානක පැවසීය.  ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පෙරේදා (14දා) රාත්‍රියේ අවසන් වූ තෙවැනි විස්සයි20 තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් දසුන් මේ බව පවසා සිටියේය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ දසුන්, “අපේ පිතිකරුවන් ලොකු ලකුණු ප්‍රමාණයක් විශ්වාසයෙන් ලබාගත යුතුයි. විශේෂයෙන් විස්සයි20 තරග ක්‍රීඩා කරන විට ප්‍රහාරාත්මක වේගය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි. කෙසේ නමුත් මෙම තරගාවලිය ක්‍රීඩා කළේ හොඳින්ම දඟ කැවෙන තණතිල්ලක. එහිදී දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නෝ අපේ අයට වඩා ගොඩක් හොඳින් පන්දු යැව්වා.

අපේ පිතිකරුවන්ට ඔවුන්ගේ සුපුරුදු රිද්මයට පැමිණන්න, දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නෝ අවස්ථාවක් ලබාදුන්නෙම නැහැ” යනුවෙන් පැවසීය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් නිසී අනුපිළිවෙළකට පන්දුවට පහරදීමට පැමිණීමක් දැකගැනීමට නොහැකි වූ අතර, එහි නිසි පිළිවෙළ ලෝක කුසලානයට පෙර සකසාගන්නේ දැයි දසුන්ගෙන් විමසීය. "ඕමානයේ තරගාවලියට යද්දී අපි සැලසුම් කරගෙන ඉන්නේ නිශ්චිත අනුපිළිවෙළකට එකොළොස්දෙනෙක් සෙල්ලම් කරන්න. ලෝක  කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ එම කණ්ඩායම සමගින්. කුසල් ජනිත් කණ්ඩායමට එක්වුණේ ආබාධයකින් මෙන්ම කෝවිඩ් වැලඳීමෙන් පසුව. ඒ නිසා නිසි අනුපිළිවෙළකට අපේ පිතිකරුවන් ක්‍රීඩා කරවන්න ලැබුණේ නැහැ” යැයි සඳහන් කළේය.

ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී දැක් වූ දක්‍ෂතා දකුණු අප්‍රිකානු තරගාවලියේදී ඉස්මතු නොවීම සම්බන්ධයෙන් දසුන් දක්වන්නේ මෙවන් අදහසක්, “අපි ආරාධිත තරගාවලිය ක්‍රීඩා කළේ නුවර. එහි තණතිලි විස්සයි20 තරග රටාවට ගොඩක් සුදුසු අතර, විශේෂයෙන් පිතිකරුවන්ට වාසිදායකයි.

නමුත් බෙත්තාරාමය ඊට වඩා වෙනස්. අපි එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකාවට අභියෝග කළේ දගපන්දුවෙන්. අද බංග්ලාදේශයේ වුණත්, නවසීලන්තය හා ඔට්‍රේලියාව පරාජය කළේ දඟපන්දු යවන්නන්ගේ සහායෙන්.නමුත් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ අත්දැකීම් නිසා ඔවුන්ට විස්සයි20 තරගාවලිය ජයගැනීම පහසු වුණා. ඒ නිසා එහි ගෞරවය එරට පිතිකරුවන්ට හිමිවිය යුතුයි". පිතිකරුවෙක් ලෙස තමා විසින් සකසා ගත යුතු අඩුපාඩු සම්බන්ධයෙන් අදහස් දැක් වූ දසුන්, "විස්සයි20 තරගවල මට ගොඩක් දුරටත් පැවරෙන්නේ පන්දුවාර 12 සිට පන්දුවාර 20  දක්වා ක්‍රීඩා කරන්න. නමුත් දෙවැනි තරගයේ මට අවස්ථාවක් තිබුණා පිතිකරුවෙක් ලෙස මගේ දක්‍ෂතා කණ්ඩායමට ලබාදී මගේ උපරිමය කරන්න. අවාසනාවට මම දැවී ගියා.

 නමුත් මම හිතනවා මම වගේම කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සියලු දෙනා තමන්ගේ ස්ථානවල තම තමන්ගේ වගකීම්වල නිරත වුණා නම් මට පහසුයි.මොකද මේක දවැලක් වගේ, රෝදය කැරකෙන නම් පුරුක් ඔක්කොම එකට තියෙන්න ඕන.

හැමවෙලාවෙම අපි උත්සාහ කරන්න ඕන කඩුලු අතැතිව ඉනිම ගොඩනගන්න. අපට හැකියාවල අඩුපාඩුවක් නැහැ. කණ්ඩායමේ සියලුම දක්‍ෂතා එක් තරගයකට හරියට එක්වෙන් නැති ප්‍රශ්නය තියෙන්නේ. මෙය මේ තරගාවලියේ විතරක් නෙමෙයි, පසුගිය වසර කිහිපයේම තිබුණ ප්‍රශ්නයක්. අපේ රට පිතිකරණ ලැයිස්තුව නරක ලැයිස්තුවක් නෙමෙයි. ඒ නිසා මේ වගේ දේවල් තියෙන්න පුළුවන්” යනුවෙන් සඳහන් කළේය.මෙහිදී භානුක හා ධනංජය පන්දුවට පහරදුන් විලාස සම්බන්ධයෙන් කළ විමසීමකදී දසුන් පවසා සිටියේ, ඔවුන් ක්‍රීඩා කළ ආකාරයන් ගැන සෑහීමට පත්වන බවයි.

"මෙම තරගාවලියේදී භානුකගෙන් බලාපොරොත්තු වූ දේ ලැබුණේ නැහැ. නමුත් අපි හැමෝම දන්නවා ඔහුට විස්සයි20 තරගවල අනෙක් කණ්ඩායමේ ජයග්‍රහණය සම්පුර්ණයෙන්ම උදුරාගන්නට තරම් හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු ගැන මට ගැටලුවක් නැහැ. ඉදිරියේදී භානුක අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රීඩා කරයි කියන විශ්වාසය තිබෙනවා. ඒ වගේම ධනංජය ද සිල්වා අවසන්වරට ක්‍රීඩා කළ ඉන්දියානු තරගාවලියේ ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා මම හිතනවා ධනංජය ඉදිරියේදීද අංක 04 පිතිකරු ලෙසම ක්‍රීඩා කරයි.

ධනංජයගේ ස්ථානය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩකයෙක් එක තරගාවලියක පසුබෑමකට ලක්වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා ඒ ක්‍රීඩකයා නරක කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ කළ යුත්තේ එක් එක් ක්‍රීඩකයන්ගේ වැරදි කතා කරනවාට වඩා, ඔවුන් කළ දේවල් හා ඉදිරියට විය යුතු දේවල් ගැන කතා කරලා මෙම කණ්ඩායම සමග විශ්වාසයෙන් ගමනක් යාමයි. ලෝක කුසලානයට පෙර අපට තිබෙන ඕමාන තරගාවලිය ඉතාම වැදගත්. ඒ වගේම ලෝක කුසලානයට පෙර නම් කළ සංචිතයේ ලොකු වෙනස්කමක් වෙයි කියලා හිතන්නේ නැහැ” යැයි පැවසීය.

(සංජිව ධර්මසේන)