දකුණු කොළඹ වරායට පිවිසෙන මාර්ගයේ පිහිටි වරාය අධිකාරියට අයත් මිල කළ නොහැකි ඉඩම විකුණා දැමීමටම හෝ බදු ලබාදීමට ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



අක්කර දහතුනක විශාලත්වයෙන් යුත් මෙම ඉඩම වරාය අධිකරි සතුව තිබෙන මිල කළ නොහැකි ඉඩමක් බවත්, මෙම ඉඩම සංවර්ධනය කිරීම තුළින් වරාය අධිකාරියට අසිමීත මුදලක් උපයාගත හැකි බවත් එම සන්ධානයේ සාමාජික සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ දියුණුවට බව පවසමින් 1999 වසරේදී රැජින පර්යත්තය සිංගප්පූරු සමාගමකට ලබාදුන් බවත්, අදාළ පර්යන්තය ලබාදෙන වනවිට ප්‍රතිඅපනයනය බහාලුම් මෙහෙයුම් කටයුතු සියල්ලම සිදුකරනු ලැබුවේ වරාය අධිකාරියෙන් බවත් හෙතෙම පවසා සිටියේය.

එහෙත් මේ වනවිට ප්‍රතිඅපනයන බහාලුම් මෙහෙයුම් සැලකීමේදී වරාය අධිකාරියට හිමිව තිබෙන්නේ, 31%ක ප්‍රමාණයක් බවද ලේකම්වරයා සඳහන් කළේය.

වරායේ දියුණුවට බව පවසමින් වරාය අධිකාරි සතු සම්පත් එකින් එක විකුණා දැමීමට හෝ බදු ලබාදීමට කටයුතු සිදුකරන බවත්, එහෙත් වරාය අධිකාට හෝ රටට කිසිදු ආර්ථික වාසියක් හිමිවී නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය. මේනිසා වරාය අධිකාරිය සතු අක්කර 13ක ප්‍රමාණය රැකගැනීම සඳහා වරාය වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධ වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා අවධාරණය කළේය.

(එච්.අයි. තුෂාර)-