ශ්‍රී ලංකා පිතිකරුවන්ට තම තමන්ගේ වගකීම් නිසි ලෙසින් අවබෝධ කරදී තිබෙන බවත්, ඒ නිසා අද තරගයේදී ඔවුන් වඩා හොඳින් තරගයට මුහුණදෙනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා පැවසීය.
 
 ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පෙරේදා (12)දා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව පැවැති  මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් දඟපන්දු යවන්නන්ට මුහුණදීමේදී යම් දුර්වලතාවක් දැක්වුවද, එය පුහුණුවේ අඩුපාඩුවක් නිසා සිදු නොවන බවයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ග්‍රාන්ට් ෆ්ලවර්,

"අපේ පිතිකරුවන් දඟ පන්දු යවන්නන් ඉදිරියේ යම් දුර්වලතාවක් දැක්වුවා. නමුත් එය පුහුණුවීම්වල අඩුපාඩුවක් නිසා කියලා මම හිතන්නේ නැහැ. මොකද අප දැඩි කැපවීමකින් පුහුණුවීම් කටයුතු සිදුකරනවා. ඒ වගේම ශාරීරික අභ්‍යාස සහ සෙසු පුහුණු කටයුතුවලදීත් අපි උනන්දුවෙන් කටයුතු කරන අතර, දීර්ඝ සාකච්ඡා කිරීම් පවා සිදුකරනවා.



නමුත් දෙවැනි තරගයේ පිතිකරණය උපරීම තත්ත්වයක තිබුණේ නැහැ. එමෙන්ම නිසි අවස්ථාවේදී නිවැරදි තීරණ ගනු ලැබුවේ නැති බවයි මගේ හැඟීම. කෙසේ නමුත් දකුණු අප්‍රිකානුවන් හොඳින් පන්දු යැවීමත් සමගින් ඇති වූ දැඩි පීඩනය ශ්‍රී ලංකා පිතිකරණයේ පසුබෑමට හේතුවක් වුණා. විශේෂයෙන් දකුණු අප්‍රිකානුවන් නිසි ස්ථානවල පන්දු රකින්නන් යොදවමින් හොඳින් පන්දු රැකීම සිදුකළ අතර, ඉන් ඔවුන්ගේ දඟපන්දු යවනන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තා.කෙසේ වෙතත් එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි කැපවීමකින් මෙම දුර්වලතා මගහරවා ගැනීම සිදුකළ යුතුයි”
යනුවෙන් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරියට පැමිණ අනවශ්‍ය පහරවල් එල්ල කර දැවීයාම සම්බන්ධයෙන් අදහස් දක්වන පිතිකරණ පුහුණුකරු,"දැඩි ලෙසින් දඟ කැවෙන තණතීරුවක අපට ඉදිරියට පැමිණ පන්දුවට පහරදීමට සිදුවෙනවා. එහිදී අවදානමක් තිබුණත්, ලකුණු ලබාගැනීම සඳහා එවැනි පහරවල් කරා යොමුවීම සිදුකළ යුතුව තිබුණා. පුහුණුවේදීත් ඔවුන් එවන් පහරවල් පුහුණු වුණත්, තවදුරටත් එය වැඩිදියුණු කරගත යුතු බව පෙනී යනවා. විශේෂයෙන් ඒ සඳහා ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගත යුතු බවයි මම සිතන්නේ.

කෙසේ නමුත් පිටියෙන් පිටතදී මෙම කරුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාකච්ඡාවට ලක් කළත්, පිටිය තුළ විශේෂයෙන් පීඩනයක් පවතින අවස්ථාවක නිවැරදි තීරණය ගෙන පිතිකරණයේ යෙදීම පිතිකරුවන්ගේ වගකීමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුකර වැඩි වශයෙන් ලකුණු ලබාගැනීමේ පහරවල් කරා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන් උනන්දු විය යුතුයි" යැයි පැවසීය. මේ අතර භානුක රාජපක්‍ෂ පිළිබඳ අදහස් දක්වමින් ග්‍රාන්ට් ෆ්ලවර් පවසා සිටියේ, භානුක ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්‍ෂතම පිතිකරුවෙකු බවයි. තරගයට පෙර ඔහුට ලබාදුන් උපදෙස් නිසි පරිදි ඉටුකරමින් ලකුණු අතරට පැමිණීම ආරම්භ කළද,



අවාසනාවන්ත දැවී යාමකට. භානුක ගොදුරු වූ බවද ඔහු පවසා සිටියේය.කණ්ඩායම සමගින් නැවත එක් වූ කුසල් ජනිත් පිළිබඳ අදහස් දක්වමින් ෆ්ලවර් පවසා සිටියේ, කුසල් ක්‍රමක්‍රමයෙන් සුපුරුදු ශාරීරික යෝග්‍යතාව වෙත ළඟවෙමින් සිටින බවයි. "උරහිසේ ආබාධ තත්ත්වය හේත්තුවෙන්  කුසල් ජනිත් යම්කිසි අපහසුතාවකට පත්ව තිබෙනවා. නමුත් ඔහු කඩුලු අතර දිවයන ආකාරය සහ පන්දුවට පහරදුන් අයුරු අනුව සුපුරුදු ශාරීරි යෝග්‍යතාව වෙත ළඟා වෙමින් සිටින බවක් පෙනෙනවා.

ඔහු පූර්ණ සුවය නොලැබුවත් නැවතත් කණ්ඩායමට එක්වීමට හොඳම අවස්ථාව මෙය බව අප සිතුවා. කුසල් දෙවැනි තරගයේදී තමන් කෙතරම් දක්‍ෂ පිතිකරුවෙකුද යන්න අපට පෙන්වා දුන්නා” මේ අතර දසුන් ශානකගේ පසුබැසීමට ඔහුගේ නායකත්වයේ වගකීම හේතුවක් වී ඇත්දැයි මෙහිදී ග්‍රාන්ට් ෆ්ලවර්ගෙන් විමසා සිටි. අතර, ඊට පිළිතුරු දුන් ඔහු,"මෙම තරගාවලියට පෙර ඔහු විශිෂ්ට ලෙස දේශීය තරග බිමේ දස්කම් දැක්වූවා. ඒ නිසා ඔහුට නායකත්වයේ පීඩනය බලපෑමක් වූවාදැයි අවිනිශ්චිතයි. දසුන් ඉතා කැපවීමෙන් හොඳින් පුහුණුවීම් සිදුකරනවා. ඒ නිසා නුදුරේදීම ඔහු සුපුරුදු රිද්මයට ළඟා වී පවතින ගැටලුවලට පිළිතුරු ලබාදෙනු ඇති බව මගේ විශ්වාසයයි" යනුවෙන් පැවසීය. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම සම්බන්ධයෙන් ෆ්ලවර් දක්වන්නේ මෙවන් අදහසක්,



"ලෝක කුසලානයට පෙර අපට තරග ඉතා අඩු සංඛ්‍යාවක් තිබෙන්නේ. පුහුණු තරග කිහිපයකුත් ලැබී තිබෙනවා. පිතිකරුවන්ට ඔවුනොවුන්ගේ වගකීම් නිසි ලෙසින් අවබෝධ කරදී තිබෙනවා. එමෙන්ම නිලකුණු පන්දු අඩු කරගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් පුහුණුවීම් කටයුතු කරනු ලබනවා. නමුත් අවසන් තරග කිහිපයේදී එම සැලසුම් ක්‍රියාත්මක වීමේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. ඒ නිසා සාර්ථක කණ්ඩායමක් බවට පත්වීමට නම් මෙම වැරැදි නුදුරේදීම නිවැරැදි කරගත යුතුයි. ඒ අනුව තෙවැනි තරගයේදී වඩා හොඳින් තරගයට මුහුණදෙනු ඇති බව මට විශ්වාසයි. එමෙන්ම ලෝක කුසලානයට පෙර ඔවුන් තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින් ඊට යහපත් ලෙසින් පිවිසෙනු ඇති බව මම සිතනවා”

(සංජීව ධර්මසේන)