
සිය මෝටර් රථය වේයන්ගොඩ නගරයදී අනතුරට භාජනය වී ඇති බවට මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පෙනී සිටිමින් වේයන්ගොඩ පොලිසියට දුරකතන ඇමතුමක් දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා දුරකතන වාර්තා පරික්ෂා කිරිමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය පෙරේදා (16) පස්වරුවේ වේයන්ගොඩ පොලීසියට අවසර ලබා දුන්නාය. වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ.ඒ.ඒ. නන්දසිරි මහතා පෙරේදා (16) පස්වරුවේ අධිකරණය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පුද්ගලයකු ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා ලෙස පෙනී සිටිමින් වේයන්ගොඩ පොලීසියට ඉකුත්දා (15) රාත්‍රී දුරකතන ඇමතුමක් දුන් බව කියා සිටියේය.
එම ඇමතුමෙන් කියා ඇත්තේ මෝටර් රථය වේයන්ගොඩ නගරයේ දී අනතුරකට භාජනය වී ඇති හෙයින් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් එවන ලෙසය. එම ඇමතුමට අනුව රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් වේයන්ගොඩ නගරයට ගොස් සොයා බැලීමකදී එවැනි අනතුරක් සීදුවී නැති බවත් පොලීසිය නොමග යැවීම සඳහා එම දුරකථන ඇමතුම දී ඇති බවත් ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වා ගෙන යන බවද පොලිස් සැරයන්වරයා කීය.
එම දුරකතන ඇමතුමට අදාළ වාර්තා ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන මෙන්ද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය. මෙහිදී එම ඉල්ලීමට අවසර ලබා දීමට නියෝග කැරිණි. වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ.ඒ.ඒ. නන්දසිරි මහතා ඉල්ලීම ඉදිරිපත් කළේය.
-ආනන්ද ඉ.ජයකොඩි-
Comments
Post a Comment
Your comment will be visible after approval