කොරෝනා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කළ බව කියන පෞද්ගලික බස් 70ක පමණ ධාවන බලපත්‍ර අවලංගු කළ බව ප්‍රවාහන සේවා සහ පොලිස් ප්‍රජා කටයුතු රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ අනුව අන්තර් පළාත් ධාවන බලපත්‍ර 20ක් සහ පළාත් ඇතුළත ධාවන බලපත්‍ර 50ක් අවලංගු කළ බව රාජ්‍ය ඇමැතිවරයා කියයි.වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“කොවිඩ් අවදානමත් සමග සක්‍රීය නොකළ යුතුව තිබූ පොදු ප්‍රවාහන සේවා යළි සක්‍රීය කළේ ජනතාව සහ බස් කර්මාන්තයේ නියැළී සිටින අයවලුන් ගැන සිතලයි. ඒත් බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් හිටගෙන ගමන් කරන ලෙස බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමට පුද්ගලික බස් රියදුරන් කොන්දොස්තරවරුන් කටයුතු කරන බැවින් අකමැත්තෙන් වුවත් සෞඛ්‍ය උපදෙස් නොතකන බස් ධාවන බලපත්‍ර අවලංගු කිරීමට සිදුවූවා.



කොවිඩ් අවදානම නොතකා මගීන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තර මහත්වරුන් වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසා කොවිඩ් වසංගතය තව තවත් ව්‍යාප්ත වෙනවා. බස්වල වැඩිපුර මගීන් ගෙන යනවා නම් (හිටගෙන) බස් කොන්දොස්තර සහ රියදුරු මහත්වරුන් එයට වගකිව යුතුයි. ආසන සංඛ්‍යාවට වඩා අධික ලෙස මගින් ගෙනයන බස් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී තිබෙනවා. මෙම තීරණයට බස් හිමියන් එකඟත්වය පළ කර තිබෙනවා.රජය මගින් නිකුත් කළ නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරිම ලංගමට අදාළ වන්නේ නැහැ. ලංගම සියලු සේකයන් සේවයට වාර්තා කළ යුතුයි." රජය මගින් නිකුත් කළ නව චක්‍රලේඛයට අනුව බස්රථ හා දුම්රිය ධාවන කාලසටහන් වෙනස් කර තිබෙන නිසා අනවශ්‍ය තදබදයකින් තොරව පොදු සේවා ක්‍රියාත්මක කළ හැකි බවද දිලුම් අමුණුගම අමාත්‍යවරයා මෙහිදී කීය.

(ජේ.ඒ.එල්. ජයසිංහ)