Potta Naufer dies of corona
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරු වී මරණ දඬුවම නියම කර සිටි පොට්ට නවුෆර් කොරෝනා ආසාදිතව මියගොස් තිබෙයි.





බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් පරීක්ෂණ කටයුත්තක් සඳහා පසුගියදා ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් තිබුණා. එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු  විය.

2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය. මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යේශ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.

ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි. එවක අගවිනිසුරුවරයා විසින් අඹේපිටිය මහතා “අධිකරණ ක්ෂේත්‍රය තුල සිටි එඩිතර නිලධාරියෙකු බවත්, ඔහුගේ මරණය අධිකරණයට වූ විශාල පාඩුවක්” යනුවෙනුත් ප්‍රකාශයක් සිදුකරන ලදී.



අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී.