
වසර 3 ක සිට භික්ෂූන් වහන්සේ තුන් නමක් මෙම ස්ථානය භාවනා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. මෙම වසරේ ජනවාරි සිට මෙම කාන්තාවන් තිදෙනා මෙම ස්ථානයට කැඳවා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත.
පසුව මෙම කාන්තාවන් තිදෙනා ද සිවුරු හැඳ මෙම භික්ෂූන් වහන්සේ සමග භාවනා කරන බව පවසා ඇති අතර මෙසේ ගැහැනු පිරිමි එකට සිට සිදු කරන කටයුතු ශාසන විරෝධී හා සම්ප්‍රදාය විරෝධී බව ප්‍රදේශයේ නායක හිමිවරු මේ පිරිසට දන්වා ඇත.
බුදුන් වැඳීම හෝ මල් පූජා කිරීම ආදී වතාවත් සිදුකර නොමැති එම පිරිස් මෙම භාවනා මධ්‍යස්ථානය විහාරයක් ලෙස ලියාපදිංචි කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇත. මේ පිළිබඳ අමාත්‍යාංශය මගින් නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය බව ඔවුන්ට දන්වා ඇති අතර නාවලපිටිය පොලිසිය වෙත මෙසේ පැමිණිල්ලක් කර තිබිණි.
ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති යටලමත්තේ ප්‍රේමරතන, එහි ලේඛකාධිකාරී පොල්ගස්වත්තේ පේමානන්ද, අධිකරණ සංඝනායක පරණගම නාරද යන නාහිමිවරු සමග නාවලපිටිය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ සාකච්ඡා කර ඇත. අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් මැදිහත්ව මෙම භාවනා මධ්‍යස්ථානයේ පිරිසට දන්වා ඇත්තේ එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි.
මෙම ස්ථානයේ සිටි තරුණ හිමිවරු අතර යුද හමුදාවේ සේවය කළ අයකුද සිටි බව හෙළි වී ඇත.
මෙම පිරිස් ඊයේ (8 වැනිදා) දිනයේදී එම ස්ථානයෙන් ඉවත්ව යන බව දන්වා ඇති බව මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස් පරීක්ෂක ඉන්දික මහතා පැවසීය.
සුරංග රාජනායක - ගම්පොළ
Comments
Post a Comment
Your comment will be visible after approval