කෝවිඩ් වයිරසයෙන් මියගිය පිරිසෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ 23 දෙනකු පමණකැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.  එම විසිතුන් දෙනාගෙනුත් බහුතරයක් වකුගඩු බද්ධ කිරීම හෝ වෙනත් නිධන්ගත රෝගවලින් දීර්ඝ කාලීනව පෙළුණු අය බව ද හෙතෙම සඳහන් කළේය. කොවිඩ් ආසාදනය වීමෙන් එන්නත් ලබාගෙන ඇත්තේ 200 දෙනකු පමණක් බවත්, ඉන් 177දෙනකුම එන්නත් එක් මාතාවක් පමණක් ලබාගත් අය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වේය. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බව මෙමගින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය.



මේ අතර, කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සියයට 80කට වැඩි ප‍්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අය නොවන බව පැවැසූ ගුණවර්ධන මහතා, එන්නත ලබාගැනීමේ වැදගත්කම මෙමගින් කදිමට පෙන්නුම් කෙරෙන්නේ යැයිද පැවැසුවේය. වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාම ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ එන්නත්කරණ මධ්‍යස්ථානයට ගොස් කොවිඩ් මර්දන එන්නත වහාම ලබාගන්නැයි විශේෂ ඉල්ලීමක් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මේඅතර, සෞඛ්‍ය අංශ කොවිඩ් සංඛ්‍යාලේඛන වසන් කරන බවට ඇතැම් පිරිස් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ (10 )දක්වා කාලය තුළ මියගිය සමස්ත පුද්ගලයන් ගණන 5,222කි.

(සුජිත් හේවාජූලිගේ)