Suspect-caught-with-kasippu-falls-ill-and-dies-while-being-brought-by-the-police

නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිසියට රැගෙන එන අතරතුර දී ඇති වූ රෝගී තත්වයක් මත මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.මතුගම යටදොළ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකුමෙසේ මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

යටදොළ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයකුගේ මත්පැන් තවත් පුද්ගලයකු විකුණන බවට මතුගම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව උප පොලිස් පරික්ෂකවරයකු ඇතුළු නිලධාරීන් විසින් එම ස්ථානය වටලා නීතිවිරෝධී මත්පැන් සමග එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනුණ සැකකරු මතුගම පොලිසියේ ත්‍රී රෝද රථයකින් පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරතුර දී එකවර ඇතිවූ රෝගී තත්වයක් නිසා වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.මතුගම වැඩබලන මහේස්ත්‍රාත් සුභාෂිණි ජයවික්‍රම මහත්මිය වෑත්තෑව රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමෙන් අනතුරුව මියගිය අයගේ දේහය නාගොඩරෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසට කරන ලද නියෝගය අනුව මෘත දේහය නාගොඩ රෝහල වෙත බාර දී ඇත. මෙම මතුගම මූලස්ථාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

(මතුගම බන්දු තඹවිට)