පසුගිය සතියේ මාධ්‍ය හමුවකට එක්වූ  ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලද කොරෝනා රෝගීන් කිසිවකුත් මියගියේ නැති බව ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය උපුටාගනිමින් සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් දියත්වූ අතර බටහිර වෙදකම හා ආයුර්වේද වෙදකම අතර තිබෙන වෙනස්කම් හා ලෙඩ්ඩු නොමැරී සිටින්නට නම් ආයුර්වේද විධික්‍රම සාර්ථක බවට අදහස් පළවිය.
නමුත් සිදුව ඇත්තේ වැරදි කෝණයකින් අදාළ ප්‍රකාශය සමාජ ගතවීමකි.


මේ ගැන එම ප්‍රකාශය සිදු කළ  ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන අද දින අරුණ පුවත්පතට පිලිතුරක් ලබාදී ඇත. ඔහු මෙසේ කියයි.

ඇත්තටම ආයුර්වේද ප්‍රතිකාර ලැබූ රෝගීන් කවුරුවත් මියගියේ නැද්ද?

මෙහෙමයි. අප යටතේ ප්‍රතිකාර ලද කොවිඩ් ​රෝගීන්ගෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ අවස්ථාවල වෙනත් රෝහල්වලට මාරු කර යවා තිබෙනවා. එම නිසයි මම කීවේ අප යටතේ සිටි කිසිවෙක් මැරුණේ නැහැ කියලා. ඒ නිසා එම වචනය සාධාරණ නැහැ. තවත් කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වෙන්න පුළුවන්. ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා අමාරු රෝගීන් භාරගන්නේ නැහැ. සාමාන්‍ය සංකූලතා ඇති සුව කළ හැකි ​රෝගීන් පමණයි ආයුර්වේදය භාර ගන්නේ.

කළමනාකරණය කළ හැකි අය පමණයි ගන්නේ. ඒ වගේ අය මියයාම ඉතාම අල්පයි.
 නාවින්න, පල්ලේකැලේ, කුරුණෑගල, නාරම්මල, බෙලිඅත්ත, කින්නියා, කප්පල්තුරේ, අඩ්ඩාලච්චේන, පුදිකුඩිඉරිප්පු, පම්පෙමඩු, දියතලාව, රත්නපුර රෝහල් 13ක් තිබෙනවා.
රෝගීන් 3820ක් ප්‍රතිකාර ලබා තිබෙනවා.. අසාධ්‍ය තත්ත්වයට පත්වූ රෝගීන් 142ක් රජයේ රෝහල්වලට මාරුකර යවා තිබෙනවා.