30-deaths-per-day-in-Borella-alone---Kirulapone-Nedimala-Gampaha-crematorium-congested
කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග බස්නාහිර පළාතේ ආදාහනාගාරවල අධික තදබදයක් ඇති වී තිබේ. මේ නිසාම බොහෝ තැන්වල ආදාහනය කිරීම් ප්‍රමාද වීම් වාර්තාවේ.  කොළඹ මහනගර සභාවට අයත් බොරැල්ල කනත්ත, ජාවත්ත කනත්ත, කිරුලපන හා මාදම්පිටිය කනත්ත යන තැන්වල ආදාහනාගාර දහතුනක් ක්‍රියාත්මක වෙයි. ඉන් එක් ආදාහනාගරයක් අබලන් තත්ත්වයේ පවතියි.

බොරැල්ල කනත්තට පමණක් දෛනික මරණ 30කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන එන අතර ඉන් මරණ 12ක් පමණ කොවිඩ් ආසාදිත මරණ වෙයි.



දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ ඇති කළුබෝවිල හා නැදිමාල ආදාහනාගාර හා කොටිකාවත්තේ පිහිටි ආදාහනාගාරයේද දෛනිකව රැගෙන එන මළසිරුරු වැඩි වී තිබේ. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනි දිසානායක පැවැසුවේ ලැබෙන මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ගැටලුවක් තමන්ට වාර්තා වී නොමැති බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේද කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන බැවින් ආදාහන කටයුතු පළාත් පාලන ආයතන හරහා කඩිනම් කිරීමට තීන්දු කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත. මෙම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහතුනක ආදාහනාගාර ඇත. මිනුවන්ගොඩ නගර සභාවට අයත් ආදාහනාගාරයේ දිනකට මරණ හතරක් ආදාහනය කළ හැකි අතර අනෙක් ආදාහනාගාරවල සිදු කළ හැක්කේ දෙක බැගිනි.
කොවිඩ් ආසාදිතව දෛනිකව මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව 90 ඉක්මවා තිබේ.

(උදයජීව ඒකනායක, එෆ් අස්ලම් )