A 20 km long Pirith thread has been drawn to protect six villages in Kurunegala from the plague

පිරිත් නූලේ බලය ගැන බෞද්ධයින් අතර විශේෂ පැහැදීමක් තිබෙන අතර ඇතැම්විට පදවන වාහන ආරක්ෂා කරගන්නට වාහන සුක්කානමේත් යම් කිසි විශේෂ අවස්ථාවලදී අතේ මැණික් කටුවෙත් පිරිත් නූල් බඳිනු දක්නට ලැබේ. නමුත් ගම්වැසියන් ආරක්ෂා කරන්නට පිරිත් නූල් ප්‍රදේශයක ගස් ගල් නිවාස යාකරමින් ගැටගසා තිබෙනු අසන්නට ලැබෙන්නේ නැති තරම්ය.අලුත් ආකාරයට පිරිත් නූල් බැඳ ගම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ගැන කුරුණෑගල මාවතගමින් වාර්තාවේ.
කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෙත් පැතීම සඳහා කරනු ලබන
පිරිත් සජ්ජායනාවක් වෙනුවෙන් කිලෝ මීටර් 20 ක පමණ දිගු දුරකට ගම් 6 ක් යාකරමින් අදින ලද දැවැන්ත පිරිත් නූල මාවතගම මීතැන්වල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


මීතැන්වල පුරාණ බෝධිමළු විහාරාධිපති ගල්අමුණේ සමිත හිමියන් මෙම කටයුත්තට මුල්ව ඇත.
මෙය ලෝකයේ දිගම පිරිත් නූල විය හැකි බව හිමියන් කියා තිබේ.

“මේ පිරිත් නූල නිර්මාණය කිරීම සඳහා අපිට මැෂින් නූල් පන්දු 50 ක් පමණ වැය වුණා. ප්‍රදේශය
හරහා ඇද තිබියදී පොල් අතු ආදිය වැටීමෙන් හානියක් වේවි යැයි අනුමාන කරලා අපි මේ පිරිත් නූලේ සවි
ශක්තිය වැඩි කරන්න නව නූලක් විදියට සකස් කරලා තිබෙනවා.
 වසංගතයට ගොදුරු වෙලා සිටින අයට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙනකොට මානසික සහනයක් වගේම පිරිත් බලයෙන් නීරෝගි සුවය ලබා දීමේ අරමුණින් තමයි  පිරිත් සජ්ජායනාව පවත්වන්නේ. ගම්මාන හයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මාන වලට පිවිසෙන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ලම යා කරමින් මෙම දැවැන්ත පිරිත් නූල ඇද්දා”