sri-lanka-vehicle-omporting

රජය වාහන ආනයනය තහනම් කිරීමේ තීරණය ගැනීමට පෙර මිලදී  ගෙන තිබූ වාහන මෙරටට ගෙන්වා ගැනීමට කිසියම් සහනයක් ලබා දෙන්නැයි නව මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජපානයේ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල මහතා පැවැසීය.   එසේ නොවුණහොත් මේ වාහන ජපානයේ වරායවල දිරාපත් වී විනාශවිය හැකි බවද ඔහු සඳහන් කළේය.  මීගල්ල මහතා මෙසේ පැවැසුවේ   කොළඹදී පෙරේදා (07) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  නිශාන්ත මීගල්ල මහතා මෙසේ ද පැවසීය.




නව රජය බලයට පත්වීමෙන් පසු  මෙරටට වාහන ආනයනය කිරීම කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එක්වරම තාවකාලිකව තහනම් කළා. ඒ තීරණයෙන් වැඩිම පීඩනයට ලක්වුණේ අපි. මොකද අපි ඒ වනවිට රුපියල්  කෝටි තුන්සියයකට ආසන්න වටිනා වාහන 1364 ක් ලංකාවට එවන්න මිලදී ගෙන සිටි පිරිස. වාහන ගෙන්වීම සඳහා විවෘත කරන ලද ණයවර ලිපි  මේ තත්වය යටතේ කල් ඉකුත් වීම නිසා ජපානයේ බැකු අපේ කටයුතු පිළිනොගන්නා අහිතකර තත්වයක් ඇති වුණා. මේ තත්ත්වය නිසා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දී බොහෝ  ගැටලුවලට අද මුහුණ දීමිතු සිදුවෙලා තියෙනවා."


 “කෙසේ වෙතත් රජයේ මැති ඇමැතිවරුන්ට වාහන ආනයනයට විවර කර ඇති ණයවර ලිපි පමණක් අවලංගු නොකරන බවට රජය පසුව නිවේදනය කළා. එහෙත් අපට කිසිම සහනයක් ලැබුණේ නෑ. අප රජයෙන් දැන් ඉල්ලනෙ එක දෙයයි. අපි කියන්නේ කිසිදු විදේශ මුදල් හුවමාරුවකින් තොරව දැනටමත් මිලදී ගෙන ඇති වාහන පමණක් ආනයනයට අනුමැතිය දෙන ලෙසයි. කෙසේ වෙතත් කිසිදු වගකිවයුතකුගෙන් ඒ සඳහා පිළිතුරක් ලැබී නැහැ. අඩු තරමින් සාකච්ඡාවක් දීමටවත් රජයේ ඇත්තන් කාරුණික වී නැහැ. අපි මේ ආණ්ඩුව බලයට  ගෙන්න ලොකු වැඩ කොටසක් කරපු අය. ඒකත් අපි මෙතන කියන්න ඕනෑ. නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අපේ මේ ප්‍රශ්නයට මැදිහත් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.




අපේ වාහන ටික මෙරටට ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නේ නම් එම වාහනවල සම්පූර්ණ අපනයන වටිනාකම වන රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක් ලංකාවේ වාහන එකලස් කිරිමේ අංගණයක් වෙනුවෙන් ආයෝජනය කිරිමටද අපි එකඟත්වයට පැමිණ තිබෙනවා. අපි ඒ වාහනවල මුදල් ලංකාවේ ආයෝජනය කරනවා. ඒ නිසා මේ රටේ මුදල් පිටට යෑමක් වෙන්නෙත් නැහැ. අපි අපේ තීරණය රජයට දැනටමත් දැනුම් දීලා තියෙනවා."  ණයවර ලිපියකින් තොරව අපේ ඒ වාහන ගෙන්වන අවසර දෙන්න.  රජයට අවශ්‍ය බදු මුදල අරගෙන අපි  මුදල් ගෙවා මිලදී ගත්තු ඒ වාහන දැන් ජපානයේ වරායවල දිරාපත්  වෙමින් තිබෙනවා. රජයේ මෙම තහනම ස්ථිර දිගුකාලීන තහනමක් බව පවසා සිටියා නම් අපට මෙම වාහන වෙනත් රටකට අපනයන කර පාඩුව අවම කර ගන්නට අවස්ථාව උදා තිබුණා. නමුත් දැන් ඒ අවස්ථාවත් අපට අහිමි වෙලා තියනවා.


අඩු තරමින් මේ පිළිබඳව කතා කිරීමට  සාකච්ඡාවක් හෝ ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙසේ හිරවී ඇති වාහන අතර මෙරට වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් ඇණවුම් කළ වාහන ද වෙනවා.

(සුජිත් හේවාජුලිගේ)