
සෝමාවතිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී සිටි හදෙනෙකු පෙරේදා (14)දා දින පස්වරුවේ දී අත්අඩංගුවට ගත් පසු බීමත් පිරිසක් පැමිණි වනජීවී නිලධාරීන්ට පහරදී අත්විලංගු සහිතවම රැගෙන ගිය බව සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකරු පී.ජී. එස්. සී. පාලින්ද මහතා පැවසීය. මෙම සිද්ධිය පහරකෑමට ලක්ව පුලස්තිගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකරු පී. ජී. එස්. සි .පාලින්ද මහතා මෙසේ පැවසීය. " අපි පස් දෙනෙක් පෙරේදා (14)දා උදේ ගියා වනඅලියෙකුට තුවාල සිදු වෙලා ඉන්නවා කියන ආරංචියක් ඔස්සේ එම සත්වයා හොයන්න.
අපි මුලින්ම ගියේ සෝමාවතිය උද්‍යානයේ ගලරැන්ද කියන ප්‍රදේශයට. ඒ ස්ථානයට ගම්මානයේ ඉදලා කිලෝමීටර් 9ක් විතර තියෙනවා. අපි දැක්කා ගෙවල් වාගේ හදලා කට්ටියක් ඉන්නවා. අපි එතනට ගිහිල්ලා ඇහුවා කාගෙන් අහලාද මේවා හදලා මේ කැලේ ඇතුලේ ඉන්නේ කියලා. ඒ අය කිව්වා ග්‍රාමසේවක මහත්තයාගෙන් අහලා කියලා මේවා හැදුවේ. පස්සේ අපි ඒ අයට මිංචු දාලා අත්අඩංගුවට ගත්තා. කැලේ දුර නිසා එනකොට රෑ වුණා. පස්සේ අපි හිටපු කාලේට බීමත් පිරිසක් ගිහින් අපිට ගහලා කැත වචනයෙන් බැණලා බලෙන්ම මාංචු ගලවලා එක් අයෙකු මාංචු පිටින්ම අරන් ගියා. පහරදීමනිසා මට අමාරුයි.
මීගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර රෝහල්ගත වුණා. මට කියන්න තියෙන්නේ එක දෙයයි. අපි ගත්ත පඩියට අපිට රාජකාරි කරන්න බැරි තත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ මේ ආපු පිරිස අපේ තුවක්කුවත් උදුරගන්න හැදුවා.අත්අඩංගුවට ගැනීමෙන් පසු පලාගිය හදෙනාගෙන් දෙදෙනෙකු මැදිරිගිරිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර ඒ අය පවසා සිටින්නේ තමන් ගවයන් බලා ගැනීමට සෝමාවතියට ගිය බවත් පසුව වනජීවී නිලධාරින් පැමිණ තමන්ට පහර දුන් බවත් පහරදීම නිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත්ය. මීගස්වැව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(හිඟුරගොඩ - ඩබ්.ඒ.පියතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval