කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පී.සී.ආර්. රසායනාගාරයක් හා සෙම පටල සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ජර්මනියේ සමාගමකට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (20 වැනිදා) අනුමැතිය ලබා දී ඇත.



මෙම රසායනාගාරය ඉදිකිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් මණ්ඩලයට පෙරේදා (19 වැනිදා) ඉදිරිපත් කර තිබුණේ සංචාරක අමාත්‍යාංශය විසිනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය නිරීක්ෂණ අටක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර මත ගැටුමක්ද ඇතිවී තිබේ. එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය හා නිලධාරීන් මෙන්ම සංචාරක අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සකාච්ඡාවක් ඊයේ (20 වැනිදා) පවත්වා ඇත. එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රසායනාගාරය කඩිනමින් ඉදිකිරීමට ජර්මනියේ HOSPINORM PROJECTS GMBH සමාගම විසින් රසායනාගාරය ඉදිකරන අතර ඒ සඳහා ගුවන් තොටුපළ භූමියෙන් පර්චස් 232ක් ලබාදීමට නියමිය. ඒ සඳහා වූ මාසික කුලිය ඇමරිකා ඩොලර් 10000කි. ගුවන්තොටුපළින් පිටවන සහ ඇතුළු වන විදේශිකයන්ගෙන් එක් අයෙකුට පරීක්ෂණය සඳහා වැය වන මුදල ඇමරිකා ඩොලර් 40කි.

උදයජීව ඒකනායක