සෝචි නුවරදී පෙරේදා (12දා) ආරම්භ වූ ලෝක කුසලාන චෙස් තරගාවලියට කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු දිල්ෂාන් ලියනගේ සහභාගි වූ අතර, ඔහු ලෝක කුසලාන චෙස් තරගාවලියක් සඳහා සහභාගි වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මේ වනවිට ඉතිහාසයට එක්ව සිටියි.

ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට ශ්‍රේණිගත කිරීම් ඉහළ මට්ටමක තිබූ බැවින් මෙවර ලෝක කුසලානයට ක්‍රීඩකයෙකු සහභාගි කරවීමේ අවස්ථාව පළමු වරට ශ්‍රී ලංකාවට හිමි විය.ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වත්මන් ජාතික චෙස් ශුරයා වන රනිඳු දිල්ෂාන් ලියනගේ සහ මෙරට ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින හර්ෂණ තිලකරත්න සුදුසුකම් ලබා සිටියහ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා අතර තේරීම් තරගයක් පැවත්වීමට ජාතික චෙස් තේරීම් කමිටුව තීරණය කළද,

සෞඛ්‍ය හේතුන් මත හර්ෂණ තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන්නි තරගයෙන්ම රනිඳුට චෙස් ලෝක කුසලානය නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය. වත්මන් ජාතික චෙස් ශුරයා වන රනිඳු දිල්ෂාන්, මෙම වසරේ පැවති ශ්‍රී ලංකා ගෝන් ප්‍රී තරගාවලියේද ඉතා ඉහළ දස්කම් දක්වමින් එම තරගාවලිය ජයග්‍රහණය කළේය. පිළිමලුන් පිටුදැකීමේ පදනම මත පැවැත්වෙන මෙම තරගාවලිය පෙරේදා සිට දින 45ක් පුරා පැවැත්වෙන අතර, ඒ සඳහා ලොව අතිදක්ෂ ක්‍රීඩකයන් 208 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත.

(කරදෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)