ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා දහහතර ලක්ෂ පනස්දහසක් ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජපානයේ ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම මගින් මෙම එන්නත් තොගය ජපානයෙන් මෙරටට ලැබෙන බව ද තානාපති කාර්යාලය පැවැසීය. එන්නත් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සහ කොවිඩ් 19ට මර්දනයේදී හැකි තරම් පිරිසකට ආරක්ෂිත හා එලදායි එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීමට සහාය දැක්වීම ලෙස ජපන් රජය මෙම එන්නත් මාත්‍රා තොගය පිරිනමන බව ද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.




මීට අමතරව, ජපාන රජය යුනිසෙෆ් හරහා  ශීත ගබඩා දාම උපකරණ සහ සුදුසු උෂ්ණත්වයේ දී එන්නත් ගබඩා කිරීම සහ එන්නත් දේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශීත ගබඩා පෙට්ටි සහ එන්නත් රැගෙන යන උපකරණ ද මෙරටට ලබා දී ඇතැයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.  ශ්‍රී ලංකාවේ ජනතාවට සහ ජපාන රජයට හා එහි ජනතාවට සහ මෙම උත්සාහය සාක්ෂාත් කරගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ නිලධාරින්ට සිය කෘතඥතාව පළකරන බව ද ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.  කොවිඩ් 19ට එරෙහිව සටන් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2ක් වනවිට ප්‍රදානය කර ඇති අතර, එම වසංගතය මර්දනය කිරිමේ ඒකාබද්ධ සටන්නේ දී ජපානය ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

 -තිළිණි ද සිල්වා-