The mother who abducted her married daughter and tried to destroy her child saying it was fatal

සිය 24 හැවිරිදි විවාහක දියණිය වෑන් රථයකින් පැහැරගෙන ගොස් කෑගල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක දින 05ක පමණ කාලයක් රදවා තබාගෙන ඇයගේ දරු ගැබ විනාශ කිරීමට උත්සාහ කළ බව කියන මව අත්අඩංගුවට ගත් බව කිරීම කිරිබත්ගොඩ  පොලිසිය කියයි.   මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිහිටි දෙපාර්තමේන්තුවක රාජ්‍ය කළමනාකාර සහකාරවරියක්  ලෙස සේවය කරන 51 හැවිරිදි කාන්තාවකි. කැලණිය පරිසවැටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන සැකකාර මව සිය විවාහක ගැබ්බර දියණියගේ හඳහන නක්ෂත්‍රකරුවෙකු ලවා පරික්ෂා කිරීමේ දී මේ කාලයේ දී දරුවකු බිහිවීම මවටත් දරුවාටත් මාරක අපල ගෙන දෙන බව පැවසීම නිසා දියණියගේ දරු ගැබ විනාශ කිරීමට උත්සාහ දරා ඇති බව පරික්ෂණවල දී හෙළි වූ බව පොලිසිය කියයි.

ඒ සඳහා අවස්ථා කීපයකදීම ඇයට විවිධ පෙති වර්ග දී ඇති  බව ද ඇතැම් පෙති දියණිය පාවිච්චියට ගෙන නැති බව ද  පරික්ෂණවල දී හෙළිවී තිබේ.  දියණියගේ සැමියා දුගී කඩවසම් පෙනුමක් නැති අඩු  කුලයේ අයෙකු නිසා දියණියගේ දරුගැබ විනාශ කර ඇය දික්කසාද කර අනතුරුව වෙනත් අයෙකුට විවාහ කරදීමේ  අරමුණින් සැකකාර මව කටයුතු කර ඇති බව ද පරීක්ෂණවල දී  හෙළිවී ඇති බව පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇය මේ තොරතුරු හෙළි කර ඇති බවද කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරියෙක් ඊයේ (25) පැවැසීය. බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටි බව කියන නිවසින් හොර රහසේ පලා ආ දියණිය සිය සැමියා ද කැටිව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා හමුවට පැමිණ මේ සම්බන්ධයෙන් සිද්ධිය පැමිණිලි කර තිබේ.




පොලිසිය පවසන ආකාරයට 24 හැවිරිදි තරුණිය මීට වසර 05 ක පමණ පෙර විවාහ වී ඇත්තේ මා පිය විරෝධතා මධ්‍යයේය. විවාහයෙන් පසු කැලණිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටිය දී කලකට පසු මව පැමිණ ඔවුන් දෙදෙදනා නිවසට කැඳවාගෙන ගොස් ඇත. සැමියාගෙන් දික්කසා ද වන්නැයි මව තමාට බලපෑම් කළ බව ද දියණිය පොලිසියට පවසා ඇත.  පසු දිනක මව (සැකකාරිය) දියණියට දුරකථන ඇමතුමක් ලබා දී අතර මග ස්ථානයකට ගෙන්වා ගෙන ඇය (දියණිය) වෑන් රථයක දමාගෙන පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.  මේ පැහැරගෙන යාමට සැකකාරිය (මව) සමග තවත් තිදෙනෙකු පැමිණි බව ඇය පොලිසියට පවසා ඇත.  කෑගල්ල ප්‍රදේශයේ පිහිටි වලව්වක් වැනි නිවෙසක රඳවාගෙන මව තමාට බෙහෙත් වර්ගයක් බොන්නට දුන් බව ඇය පොලිසියට පවසා ඇත.


බලහත්කාරයෙන් දින 05 ක පමණ කාලයක් රඳවා සිටින වලව්වෙන් රාත්‍රී කාලයේ හොර රහසේ පළාගොස් නිවසකට ගොස් එම නිවසේ සිටි අයට තමන් මුහුණ දී ඇති අකරතැබ්බය පවසා එම නිවසේ අයගේ දුරකථනයක් ඉල්ලා ගෙන සැමියාට කතාකර විස්තරය පවසා ඔහු එහි කැඳවාගෙන ඇති බව ද දියණිය පොලිසියට පවසා ඇතැයි කියති.   ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා හමුවීමට මෙම අඹුසැමි යුවළ ගොස් පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය. උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලට 24 හැවිරිදි කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා ඇතුළත් කර ඇත.




කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ විශේෂ උපදෙස් මත කිරිබත්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජිත්සිරි පතිරණ මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, උපපොලිස් පරික්ෂක ලියනපතිරණ යන මහත්වරුගේ සහ කාන්තා පොලිස් කොස්තාපල් නිලුකා 8412 මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. ගැබිනි කාන්තාව පැහැරගෙන යාමට හවුල් වූ පුද්ගලයන් තිදෙනා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

-ශ්‍රීනාත්  ප්‍රසන්න ජයසූරිය -