samanlal-den-sepada

මීට සති කිහිපයකට උඩදී මොරටුව සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීනියකට තර්ජනය කර ටෝකන් ක්‍රමයකට තමන්ගේ පක්ෂයේ අයට ප්‍රමුඛතාව දෙමින් එන්නත් ලබාදෙන්නට උත්සාහ කිරීම නිසා එන්නත්කරණ රාජකාරියට බාධා කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාරතව සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු එම නඩු විභාගයේදී ඇප මත නිදහස්ව නිවසට පැමිණියේ මීට ටික දිනකට පෙරයි.
එසේ නිවසට පැමිණි මොරටුව නගරාධිපති වරයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා
දී ඇති එක්තරා පුද්ගලයෙකු උපහාසාත්මක ලෙස ඔහු අමතා තිබේ “ආ ගෙදර ආවද... දැන් සැපද“ ආදී ලෙස සිනහසෙමින් කතා කළ එම ඇමතුම දුන් පුද්ගලයා හමුවේ සමන් ලාල් නගරාධිපති අසරණ වී තිබේ.
කතා කළ පුද්ගලයාට බැණවැදීමට නගරාධිපතිවරයාට ඉඩක් නොතබාම ඔහු උසුළු විසුළු කළ බව වාර්තා වෙයි.


තමන්ගේ අයට පමණක් එන්නත් ගසාගන්නට ටෝකන් ලබාදී ලජ්ජාවකින් තොරව ඒ වෙනුවෙන් කෑමොරදෙමින් සටන් කළ නගරාධිපතිවරයාගේ හැසිරීම වීඩියෝ පටයක් ඔස්සේ අනාවරණය වූයේ සිද්ධිය වූ දවසේ රූපවාහිනී නාලිකාවල රාත්‍රී ප්‍රවෘත්ති අංගයන්හි විශාල ඉඩ පරාසයක් තුළ එය ප්‍රචාරය වෙමිනි.

මෙම සංසිද්ධිය දැකීමෙන් ජනපතිවරයාටද කෝපය පළවූ බවක් හැඟවුනේ ජනපති ඊට පසුදා පැවති රැස්වීමකදී ඒ ගැන ඇසූ නිසාය. ඇමති නාමල් ඒ ගැන 'සමාවන්න' යයිද කීවේය. පසුව එන්නත්කරණ වැඩසටහන විධිමත් කර එස්එම්එස් ක්‍රමයක්ද හදුන්වාදෙන්නට යෝජනා ඉදිරිපත් විය.

මෙම කලබගෑනියට මුල්වූ නගරාධිපතිවරයා ඒ දිනවල විවේචන හමුවේ වරද පිළිනොගත් අතර වෙනම ප්‍රකාශයක් ලබාදී කියා සිටියේ 'කුරුණෑගල ඇමති ජොන්ස්ටන්ට හැකි නම් මං වැරදි නෑනේ' ලෙසිනි.
කෙසේ වෙතත් පක්ෂග්‍රාහී ලෙස එන්නත්කරණය සිදුකරන්නට බලපෑම් කර රාජකාරියට බාධා කිරීම නිසා රිමාන්ඩ්කර සිටි නගරාධිපති වරයා ඇප ලබාගැනීමට මීට පෙර අවස්ථාවකදී උත්සාහ කළත් එය බැරිව ගිය අතර නියමිත පරිදි ඔහුගේ ඊළග නඩුවාරයේදී ඇප මත නිදහස් විය.


එලෙස නිදහස්වී පැමිණි නගරාධිපතිවරයාට “ආ ගෙදර ආවද... දැන් සැපද“ යනුවෙන් ඇමතුම ගත් පුද්ගලයාගේ දුරකථන අංකය සොයාගෙන නගරාධිපතිවරයා පොලිසියට පැමිණිල්ලක් කළ අතර එම පුද්ගලයාව  මොරටුමුල්ල පොලිසිය ඊයේ  (17) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා නගරාධිපතිවරයා දන්නා අයෙකු බවත් ඔහු සමග මින් පෙර ආරවුලක් ඇති කරගත් අයෙකු බවත් වාර්තා විය..
මේ දෙන්නා අතර ආරවුල සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර
නගරාධිපතිවරයාට කිසිදු තර්ජනයක් සිදු නොකළ යුතු බවට සැකකරුට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක්ද
නිකුත් කර තිබී ඇත.