
ප්‍රවීණ ගත්කතුවරියක, පුවත්පත් කලාවේදිනියක හා කිවිඳියක වූ මාලිනී ගොවින්නගේ මෙනවිය අද (21) අභාවප්‍රාප්ත වූවාය. කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය විකිරණ ප්‍රතිකාරය පවා ප්‍රතික්ෂේප කර තිබූ අතර පසුගිය කාලයේ අසාධ්‍ය වූ පසුව කොළඹ දිවියට සමු දී පවුලේ ඥාතීන් වෙතට ගියාය. ඇය මියගියේ තම උපන් ගම වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය නම් ග්‍රාමයෙහි ය.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන මාලිනී ගෝවින්නගේ ඇමරිකාවේ මිචිගන් සරසවියෙන් පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද හදාරා ඇත.
ලේක් හවුස් පුවත්පත් ගණනාවක මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන ලද ඇය විශ්‍රාම ගොස් සිටි අතර අනතුරුව නිදහස් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළාය.ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩල සාමාජිකාවක ලෙස දිගු කාලයක් කටයුතු කළාය.
ඇය ජාතික පුස්තකාලය මඟින් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රලේඛා සඟරාවේ සංස්කාරකත්වය ද දැරුවාය.
‘ෆොන්ටමාරා’, ‘තැනිතලාවේ දේවතාවිය’, ‘අර්නස්ට් චේ ගුවේරා’, ‘මෝටර් බයිසිකල් දිනපොත’, ‘බොලීවියානු දිනපොත’, ‘මගේ පිකාසෝ’, ‘මා හද සඟවන්’, ‘කිවිඳ හදට එබී බලන්’, ‘හිම පාත්ති’, ‘පා සටහන් නැති දේවියෝ’, ‘අකීකරු මුහුදු ලිහිණියා’, ‘හඬනු පෙම්බර දේශය’, ‘වීදි හාදුව’, ‘ඉන්කා’, ‘දූවිලි දේදුන්න’, ‘දිවි අරුත’, ‘සන්ටිසුගේ යුද කලාව’, ‘මට මතක බීතෝවන්’ ආදී පරිවර්තන හා අනුවාද කෘති ගණනාවක් ඇය රචනා කළාය.
ඇය පරිවර්තනය කරන ලද “රළ” නමැති කෘතිය වෙනුවෙන් 2015 වසරේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම සිංහල පරිවර්තන විවිධ විෂය කෘතියට හිමි සම්මානය ද පිරිනැමිණි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval