
මිල වැඩි වීමෙන් පසු අලෙවි කිරීමේ අදහසින් සඟවා තිබූ බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර එක්දහස් අටසිය හැත්තෑ පහක් (1875) කුරුවිට නාලන්ද එල්ලාවල කර්මාන්ත පුරයේ අලෙවි නියෝජිත ගබඩාවක තිබියදී පාරිභෝගික කටයුතු අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරීන් ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
නියෝජිත ආයතනයේ හවුල්කරුවන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව බැඳුම්කර මත මුදාහරිනු ලැබීය. සැකකරුවන්ට විරුද්ධව ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කිරීම, තොග සඟවා තබා ගැනීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතය. රත්නපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල ගෑස් ලීටර් 18 සිලින්ඩර විකිණීමට ඇති බවත් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර හිඟයක් ඇති බවටත් වූ පැමිණිලි පාරිභෝගිකයන්ගෙන් ලැබුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සඟවා තිබූ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන ලෙසද සැකකරුවන්ට උපදෙස් ලබා දුන් බව අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම ප්‍රකාශ කළේය.
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර අනිවාර්යයෙන්ම වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවත් වෙළෙඳපොළේ හිඟයක් ඇති නොවිය යුතු බවත් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
උදයජීව ඒකනායක
Comments
Post a Comment
Your comment will be visible after approval