fual-price-cabinet-meeting

තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයක් ලබාගනු ඇති බවට ආරංචි පැතිරගිය සඳදා (14) සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබුනේ නැත.


 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තෙල් මිල සම්බන්ධයෙන් මුලින්ම අදහස් දක්වා ඇත්තේ චමල් රාජපක්ෂ මහතාය.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පොහොර ප්‍රශ්නය සහ ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව ඇති බවත්,

ඉන්ධන මිල යළි අඩු කළ යුතු බවත්ය.
කැබිනට් රැස්වීමට සහභාගී වී සිටි ඇමැතිවරුන් අතිබහුතරයක් චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අනුමත කරමින් අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ‌බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී කිසිදු අදහස් දැක්වීමක් සිදු කොට නොමැත.
එමෙන්ම ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ මහතාද අද දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී නොමැත.
රැස්වීම අවසන්වී සන්ධ්‍යා කාලයේ පිටව යන අතර එස්එම් චන්ද්‍රසේන ඇමතිවරයා රූපවාහිනී කැමරා කණ්ඩායම් හමුවේ කියා සිටියේ තෙල් මිලක් ගැන කිසිම සඳහනක් මෙම රැස්වීමේදී ඇති නොවූ බවයි.
රැස්වීම අවසන් කර යමින් සිටි මහින්ද අමරවීර ඇමතිවරයා කියා සිටියේ තෙල් මිල සාකච්ඡාවට ගත්තේ නැති බවයි. කෙසේ වෙතත් ජනතාවට අවශ්‍ය අනෙකුත් සහන ගැන සාකච්ඡා වූ බවයි.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අජිත් නිවාඩ් කබ්රාල් ඇමතිවරයා තෙල් මිල යලි අඩු කිරීමට රජයේ කිසිදු අදහසක් නැතැයිද එය හොඳින් හිතාබලා ගත් තීරණයක් බවද දන්වා තිබේ.