
කොවිඩ් ආසාදිත මවක (26) සහ දින දහයක් වයසැති බිලිඳකු මාවනැල්ල මූලික රෝහලේ සිට නැගෙනහිර කොළඹ රෝහල බලා ගිලන් රථයකින් ගමන් කරමින් සිටියදී බියගම සියබලාපේ 13 කණුව ප්‍රදේශයේදී ගංවතුරට හසුවීම නිසා ගිලන් රථය තුළ එම පිරිසට රැය පහන් වනතෙක් රැදී සිටීමට සිදු වී ඇතැයි වාර්තා වනවා. මෙම රෝගීන් දෙදෙනා සමග ගිලන් රථයේ රියැදුරු සහ හෙද නිලධාරීනිය හා කනිෂ්ඨ නිලධාරියකු ද ගිලන් රථයේ සිටි අතර, එම පිරිස අලුයම 1.00ට පමණ මාවනැල්ල මූලික රෝහලෙන් පිටත්ව ඇත. මොවුන් බියගම 13 කණුව ප්‍රදේශයේදී අලුයම 3.00ට පමණ ගංවතුරට හසුවී ගිලන් රථය අක්‍රිය වී ඇත. එතැන් පටන් උදෑසන 8.00 පසුවනතුරුත් කිසිදු පිළිසරණක් නොමැතිව නිරාහාරව ගිලන් රථයේ කොටු වී සිටීමට මොවුන්ට සිදු වූ බව එහි සිටි සෞඛ්‍ය සේවකයෝ පැවැසූහ.
මුල්ලේරියාව රෝහලේ ගිලන් රථය පැමිණ රෝගී මව සහ දරුවා රැගෙන යනතුරු මාවනැල්ල රෝහලෙන් පිටත් වූ මොහොතේ සිට කිසිවකු මොවුන් පිළිබඳව සොයා නොබැලු බව පවසන එම සෞඛ්‍ය නිලධාරිහු ඉතා අපහසු තත්වයකට පත්වූ බව ද පැවැසූහ. පසුව උදෑසන ප්‍රදේශවාසීන් මැදිහත්ව සුළු ආහාරයක් මොවුන් වෙත ලබා දී තිබුණ ද කොවිඩ් ආසාදිත රෝගී තත්වය මත වැසිකිළි කැසිකිළිවලට පවා යෑමට නොහැකිව සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස උදෑසන 10.00ට පමණ පැමිණි ගිලන් රථයකින් රැගෙන ගොස් ඇත.
සුදත් පුබුදු කීර්ති
Comments
Post a Comment
Your comment will be visible after approval