ඉන්දීය සුපිරි නිළි කරීනා කපූර්ට එරෙහි එරට සිනමා රසිකයින් වෙතින් දැඩි සමාජ මාධ්‍ය විරෝධයක් එල්ල වෙමින් පවතී. එයට හේතුවී ඇත්තේ ඉන්දීය - ශ්‍රී ලංකා ජනප්‍රිය ඉතිහාස පුරාවෘත්තයක් වන රාමා සීතා කතාව පාදක කරගෙන බොලිවුඩයේ තනන්නට නියමිත අලුත්ම චිත්‍රපටයක කරීනා කපූර් සීතාගේ චරිතයට තෝරාගෙන තිබීමත් එහිදී ඇය අසාමාන්‍ය මිල ගණන් ඉල්ලා සිටි බවට වාර්තාවක් මගින් හෙළිදරව් වීමයි.


කෙලී විජේන්ද්‍ර ප්‍රසාද්ගේ චිත්‍රපටය වෙනුවෙන් ඇය සීතා ලෙස රඟපාන්නට තෝරාගෙන තිබෙන අතර එහිදී ඇය ඉන්දීය රුපියල් කෝටි 12 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් සැලකීමෙදී කෝටි 32 ක් පමණ ඉල්ලුම් කර ඇති බව වාර්තාවී තිබේ.


මේ ආකාරයට අති විශාල ඉල්ලීමක් කරන්නට ඇය උඩඟුවී තිබීම නිසා එම චරිතයට ඇයව තෝරා ගන්නට අපහසු තත්වයක් මතුව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර රසිකයින් විරෝධය දක්වා තිබුනේ ඇයගේ උඩඟු බවටය.කරීනා ආගමික චරිතයකට මෙතරම් ඉහළ මිලක් නියම කිරීම හින්දු ආගමට අපහාසයක් බවද ඇතැමුන් කියා ඇත.
එසේම කරීනා දුම්පානය කරන හා පහත් පෙළේ චරිතවල රඟමින් සිටින ජවනිකාද සමාජ මාධ්‍ය තුළ ඡායාරූප මගින් පතුරුවා ඇති ඇතැම් රසිකයින් කියා සිටින්නේ ඇය සීතාගේ උතුම් චරිතයට කිසිසේත් නොගැළපෙන බවයි.
කෙසේ වෙතත් චිත්‍රපටය සම්බන්ධ තොරතුරු පතලවී කරීනාගේ ඉල්ලුම ගැන පුවත්පත් වාර්තා පළවී විරෝධතා එල්ලවූ පසු නිර්මාණකරු ප්‍රසාද් කියා සිටියේ කරීනා මෙතරම් මුදලක් ඉල්ලා නැති බවත් තොරතුර අසත්‍යයක් බවත්ය.
නමුත් රසිකයින් පවසන්නේ විරෝධය හමුවේ ඔහු අසත්‍ය පවසන බවයි.
මෙම චිත්‍රපටයේ රාවණාගේ චරිතයට රන්වීර් සිං තෝරාගෙන ඇති බවද අදාල වාර්තාවේ සඳහන්ව ඇත.