
ගැබිනි මව ඝාතනය කර ඇයගේ සිරුර කිලිනොච්චිය අච්චාකුලම් වැවට දැමු බව කියන පුද්ගලයන් දෙදෙනකු එම ඝාතනයෙන් මාස තුනකට පමණ පසු සැකපිට පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය කියයි.
අවුරුදු 42ක් වයසැති පෙදරේරුවකු සහ අවුරුදු 24ක වයස තරුණයකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවත් පෙදරේරුවා ඝාතනය වූ කාන්තාවගේ අනියම් සැමියා බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. පෙදරේරුවා දෙදරු පියෙකි. කොරෝනා මර්දන කටයුතු සඳහා යන සෞඛ්‍ය අංශ නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ගොස් 42 හැවිරිදි පුද්ගලයා මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත අනෙකා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ සාතනය කර තිබුණේ කිලිනොච්චිය පොලිස් වසමට අයත් උරන්තිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි ආරුමුගම් තිලකේෂ්වරි නමැති සිවුමස් ගැබිනියකි.අච්චාකුලම් වැවේ තිබී පසුගිය මාර්තු මාසයේ 9 වැනිදා ඇයගේ සිරුර සොයාගන පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීමේදී මෙය පහරදී ගෙල සිරකර මරා දැමීමක් බවට හෙළිව තිබිණි. මෙම තිලකේෂ්වරි නමැත්තිය තමා අතින් ගැබිනියක වූ බව දැනගත් පසු ඇය රවටා වැව ඉස්මත්තට ගෙන්වාගෙන පෙදරේරුවා ඔහුගේ මිතුරාද සමග එක්වී ඇය ඝාතනය කර සිරුර වැවට දමා ඇති බව පරික්ෂණවලින් හෙළිවී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. ඝාතනයට ලක්වූ කාන්තාවද එක් දරු මවකි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval