vishaka-twin-al-winner

නිවුන් සොයුරියන්ගේ මුහුණුවල ඇත්තේ අභිමානවත් සතුටකි. ඒ සතුට ඔවුන් ලබා ගන්නේ අධිෂ්ඨානශීලීව ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයකින් පසුවය. ඔවුන් ඒ ජයග්‍රහණය පිටුපස ඉන්නා සියලු පාර්ශ්වවලට නිහතමානීව තුති පුද කරන්නේ හදවතින්මය.

පුංචි කාලේ ඉඳලම අපි දෙන්නගේම හීනය වුණේ වෛද්‍යවරියන් වීමයි. ඒක හිතේ තියාගෙන අපි පොතේ පතේ වැඩ හොඳින් කළා. හැබැයි එහෙම කියලා ඔළුවට ලොකු බරක් ගත්තේ නැහැ. එදා පාඩම් එදාම ඉවර කළා. උගන්වන ඒවා පාඩම් කරලා එදාම මතක තියා ගත්තා” මෙසේ කියන්නේ නිවුන් සොයුරියන්ගේ එක් සාමාජිකාවක් වූ ඉල්නිය.

ඉල්නි මේ නිවුන් සොයුරියන් අතර ඉන්න බාලයාය. ඇයට වැඩිමහල් වී සිටින්නේ විනාඩි 58ක් පමණ කාලයකින් උපන් ඉල්මි. ඉල්මි සහ ඉල්නි මුලින්ම අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලික පාසලකය. එයින් පසුව මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයට ඇතුළත් වන මේ නිවුන් සොයුරියන් දෙදෙනා 5 ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වීමෙන් පසුව විශාඛා විද්‍යාලයට ඇතුළත් වීමට තරම් භාග්‍යවන්ත විය.

ඇත්තටම ඒ කාලයේදී වුණත් අපි ලොකුවට මේ විභාග ඔළුවට ගත්තේ නැහැ. ඒත් ශිෂ්‍යත්ව විභාගයෙන් මම ලකුණු 180ක් ගත්තා. අක්කා 190ක් ලකුණු ගත්තා. කොහොම හරි සාමාන්‍ය පෙළ ළං වෙද්දී… ඒ වගේම උසස් පෙළ ලියන්න සූදානම් වෙද්දී තමයි ඔන්න පාඩම් වැඩ ගැන ලොකුවට හිතුවේ.” ඉල්නි කීවේ මඳක් සිනාසෙමිනි.



ඉල්මි සහ ඉල්නිගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලද අති විශිෂ්ටය. ඔවුන් දෙදෙනා එයින්ද ලබාගත්තේ ඒ සාමාර්ථ 9කි.“අපි දෙන්නා ආශ්‍රය කරන්නේ යාළුවෝ වගේ. අපි අතර ප්‍රශ්න නැහැ. පුංචි පුංචි ගැටලු ඇති වෙලා කතා නොකර ඉන්නෙත් වැඩිම වුණොත් විනාඩි 5-10ක් වගේ කාලයක්. ආපහු අපි යාළු වෙනවා.” නිවුන් සොයුරියන්ගේ වැඩිමලා එසේත් නැතිනම් ඉල්මි කීවේ තමන්ගේ නැඟණිය දෙස බලා සිනාසෙමින්ය.

නිවුන් දරුවන් අතර බොහෝ සමානකම් ඇති වග අපි අසා තිබේ. මේ සමානකම් නිසාම ඔවුන් අතර ඇත්තේද එකම විදිහේ සිතුවිලි හා ගැළපීම්ය. ඉල්මි හා ඉල්නිත් ඒ ගැළපුමේ හිමිකාරියන්ය.“අපි දෙන්නා එකටම ඉන්න හින්දා හැම දෙයක්ම එකටම සාකච්ඡා කළා. පාඩමක ගැටලුවක් ආවත් ඒවා අපි කතා කරනවා. ඒ ගැටලු විස¼දා ගන්නවා.”

අනික අපි දෙන්නා අපි දෙන්නව හොඳින් හඳුනනවා. මොනම ප්‍රශ්නයක් ආවත් ඒවාට මුහුණ දෙන්න අපිට පුළුවන්. ඇත්තම කිව්වොත් අපි දෙන්න අතර රහස් නැහැ. මගේ ජීවිතේ ගැන අක්කා දන්නවා. එයා ගැන මම දන්නවා.” ඉල්නි යළිත් කීවාය.

මෙතරම් බැඳීමකින් ජීවත් වන මේ නිවුන් සොයුරියන්ට ඔවුන්ගේ අභිමතය පරිදි නිදහසේ අධ්‍යාපනය ලබන්නට අත්වැල් සපයා දී සියලු පහසුකම් හා යුතුකම් ඉටු කරන්නේ ඔවුන්ගේ ආදරණීය මවුපියන්ය. ඒ නිලීකා සහ හේමන්තය.

උසස් පෙළ විභාගයේදී විතරක් නෙවෙයි, ශිෂ්‍යත්ව විභාගය හා සාමාන්‍ය පෙළ විභාගය ලියද්දි වුණත් අපේ අම්මා, තාත්තා දෙන්නා අපේ ළඟින්ම හිටියා. ඔවුන් අපි එක්ක ඇසුරු කළේ, කතා බහ කළේ හරිම සුහදව. ඇත්තටම ඒ මානසිකත්වයත් අපිට හුඟාක් හොඳින් බලපෑවා. විභාගය ළං වෙද්දී පුංචි තිගැස්මක් හිතට ආවත් ඒ හැම දෙයක්ම යටපත් කරගෙන විභාගයට සාර්ථකව ලියන්න පුළුවන් වුණේ ඒ ආදරය නිසාමයි. ඇත්තටම අපි මේ වෙලාවේ හිතනවා අපි ඔවුන් කළ කැපවීමට ලොකු තෑග්ගක් දුන්නා කියලා.

ඒ වගේම තමයි විශාඛා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන සඳමාලි අවිරුප්පොළ මහත්මිය වගේම බුද්ධිනී මැදවත්ත කියන අංශ භාර ගුරුතුමිය. මීට අමතරව සත්සරණි බුලත්සිංහ, චම්පිකා මහේෂි වගේම සුභද්‍රා, අනෝමා සමරතුංග, පුෂ්පිකා සහ සේපාලි වගේම ශාන්ති යන ගුරු මහත්ම මහත්මීන් ගැනත් මතක් කළ යුතු වෙනවා.”

ඉල්මි සහ ඉල්නි මීට අමතරව තවත් බොහෝ දෙනකු ගැන හදපිරි භක්තියෙන් යුතුව කතා කළේ මේ ජයග්‍රහණයට ඔවුන්ගෙන් ලැබුණු වචනකුදු සහයෝගය අමතක නොකරමිනි.

අපි විභාගය ළං වෙද්දී ලොකුවට විනෝද වෙන්න හිතාගෙන ගමන් බිමන් ගියේ නැහැ. නමුත් ඥාති මිත්‍ර සම්බන්ධකම් තියා ගත්තා. ඒ විදිහේ ගමන් බිමන් ගියා. අම්මා, තාත්තා දෙන්නා අපේ පසුපසින් ඉඳගෙන ඒ දේවල්වලට හුඟාක් උදවු කළා. මම හිතනවා ඒ දේවල්වල ප්‍රතිඵල තමයි අපිට ලැබුණේ කියලා.



ඉතින් දැන් අපි දෙන්න හිතාගෙන ඉන්නේ වෛද්‍ය පීඨයට ඇතුළු වෙලා හොඳින් ඉගෙන ගෙන වෛද්‍යවරියන් වෙලා මේ රටට වගේම අහිංසක රෝගීන්ට හිතේ සතුටින් ප්‍රතිකාර කරනවා කියලයි. ඒ අධිෂ්ඨානය ඇතිව අපි දෙන්නම එකා වගේ වැඩ කරනවා.”

වර්තමානයේ මවුපියන්ට ඇති ලොකුම වගකීම දරුවන්ව අධ්‍යාපනයට යොමු කරන අතරේ ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන වගකීමෙන් යුතුව කටයුතු කිරීමට වගබලා ගැනීමය. ඉල්මි සහ ඉල්නිගේ මවුපියන් ඒ යුතුකම හොඳින් වටහාගෙන උන්නේය.

අපේ දූලා දෙන්නා කවදාවත් අපිට දුක හිතෙන, අපි වදවෙන දේවල් හොරෙන්වත් කළේ නැහැ. ඒ දෙන්නා අපේ විශ්වාසය හොඳින් රැකගෙන වැඩ කළා. මම හැම වෙලාවෙම හිතුවේ මේ දෙන්නව අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියලා. මම මහන්සිය නොබලා මේ දෙන්නා එක්ක හිටියා. පන්තිවලට ගියා. ඒකේ ප්‍රතිඵල අපට අද ලැබුණා.

ඇත්තටම මම අන්තිම කාලේ ලොකු බයකින් හිටියා දෙන්ගෙන් එක්කෙනකුට හරි ලකුණු අඩුවෙලා අඩු ප්‍රතිඵලයක් ලැබේවිදෝ කියලා. එහෙම බයක් මට තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. අද මම වගේම දරුවන්ගේ තාත්තා ඉන්නෙත්, අයියා ඉන්නෙත් ලොකු සතුටකින්.

ඉල්මිට සහ ඉල්නිට ඉන්නේ එකම එක වැඩිමහල් සහෝදරයක්. ඔහු නවෝදුල්. අපේ එකම පුතා චීනයේ විශ්වවිද්‍යාලයක වාණිජ විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබා දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මේ වෙද්දී ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා.” එසේ කීවේ ඉල්මි _ ඉල්නිගේ ආදරණීය මව නීලිකාය.

සාමාන්‍යයෙන් මෙවැනි දක්‍ෂතා දක්වන බොහෝ දරුවන්ගේ මවුපියන් වෛද්‍යවරුන්ය. එසේත් නැත්නම් ඉන්ජිනේරුවන්ය. එක්කෝ එවැනි විෂයයක ආචාර්ය මහාචාර්යවරුන්ය. අඩුම තරමේ ඒ විෂයය පිළිබඳ ගුරු භවතෙකු හෝ වීමේ ප්‍රවණතාවය.

ඉල්මි සහ ඉල්නිට එවැනි පසුමක් තිබුණේ නැත. ඔවුන්ගේ අම්මා ගෘහණියකි. තාත්තා දෘෂ්ටි විශේෂඥයෙකි (Optician). මීට අමතරව ඔහු වොලිබෝල් පුහුණුකරුවකු ලෙසින්ද තමන්ගේ දනුම ලබාදෙයි.“පුංචි කාලේ ඉඳලම මේ දෙන්නාට අපි නිදහස දුන්නා. යාළුවෝ වගේ තමයි මමත් ඒ දෙන්නව ඇසුරු කළේ.

මගේ බිරිය හැම මොහොතකම ඔවුන්ගේ පසුපස හිටියා වගේම මමත් ඔවුන් එක්ක හිටියා. ඒගොල්ලන්ගේ පාඩම් වැඩවලට අපි ඕනවට වඩා නීති දාන්න ගියේ නැහැ.

හැබැයි පුංචි කාලේ ඉඳලම මේ දරුවන්ගේ දක්‍ෂතා දැක්ක බොහෝ දෙනා අනාවැකි පළ කළා මේ දෙන්නා කවදාහරි හොඳම හොඳ තැනකට එනවා කියලා. අපිත් ඒක දැනගෙන හිටියා.” මෙසේ කීවේ නිවුන් දරුවන්ගේ පියා හේමන්තය.

ඉල්මි අදීෂානි සහ ඉල්නි අදීෂානි මේ සියලු හපන්කම් කළේ වෙනත් බාහිර ක්‍රියාකාරකම්ද කරන අතරතුරේය. ඒ අනුව ඉල්මි පාසලේ තාරකා විද්‍යා සංගමයේ උප සභාපති ධුරය දරමින් කැපී පෙනෙන සිසුවියක් ලෙස කටයුතු කරමින් සිටියදී ඉල්නි විද්‍යා සංගමයේ සාමාජිකාවක් ලෙස කාර්යබහුල වී සිටියාය. මීට අමතරව ඔවුන් වොලිබෝල් ක්‍රීඩාවේද නිරත වී උන්නාය.

අපි අපේ දරුවෝ හින්දා කියනවා නෙවෙයි. මේ දරුවන්ට හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබෙනවා. ඒ වගේම අරමුණක් තිබුණා. එහි ප්‍රතිඵලය තමයි අද මේ අපි භුක්ති විඳින්නේ.

මේ දරුවෝ දෙන්නා විභාගය සමත් වුණාම හැමෝටම කතා කරලා ස්තුති කළා. ඒ තමන්ට යන්තමින් හරි උදව්වක් කළා කියලා හිතපු අයට. කොටින්ම ඔවුන් පාසල් යන බස් එකේ මහත්වරුන්ට පවා කතා කරලා ඒ ස්තුතිය පුද කළා. මේ දෙන්නා එහෙම දෙන්නෙක්. ඔවුන් ඒ විදිහට නිහතමානී වීම ගැන අපිට ආඩම්බරයි. අපේ රටට ඕනෙත් මෙන්න මේ වගේ නිහතමානී අය. මම හිතනවා මේ දෙන්නා දෛ්‍යවරියන් වුණු දවසටත් මේ නිහතමානීකම ඒ විදිහටම තියේවි කියලා.” දරුවන්ගේ තාත්තා අවසන් වශයෙන් කීවේය.

මේ සටහන අවසන් කරන්නට මත්තෙන් අපි කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි, සඳමාලි අවිරුප්පොළ මහත්මියගේ සුබපැතුමත් මීට එක් කිරීමට සිතුවෙමු. එහිදී විදුහල්පතිනිය දැක්වූයේ මෙවන් අදහසකි.

මම මුලිම ඒ දරුවෝ දෙන්නට සුබ පතනවා. ඒ වගේම අනාගතයේදී විශාඛාවෙන් බිහිවන වෛද්‍යවරියන් දෙදෙනකු හැටියට ඔවුන් පරිසර හිතකාමී, ඒ වගේම රටට වැඩදායී නිහතමානීව සේවය සපයන, ලබාදෙන වෛද්‍යවරියන් දෙදෙනකු වේ යැයි හිතනවා. ඇත්තටම අපේ රටට අවශ්‍ය මෙන්න මේ වගේ මනුෂ්‍යත්වය හඳුනන අය තමයි.”

සමන් ප්‍රියංකර නම්මුනිගේ
(ඡායාරූප -උදේශ්)