nallahena-incident

කොරෝනා අධිඅවදානම් තත්වය හමුවේ සාඳ පැවැත්වීම මේ වනවිට තහනම් කරමින් තිබියදී නිරෝධායන පනත් උල්ලංඝනය කරමින් බේරුවල නල්ලහේන ප්‍රදේශයේ නිවසක ඩී.ජේ. සංගීතය සමග පැවැත්වූ උපන්දින සාදයක් වටලා හෙරොයින් මිලිග්‍රෑම් 3,150ක්, ගංජා පැකැට් දෙකක් සහ නීති විරෝධීව තීරු බදු රහිතව මෙරටට ආනයනය කර තිබෙන විදෙස් දුම්වැටි 120ක් සමග නිවසේ හිමි සැකකාර ධීවර ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.


මෙම නීති විරෝධී සාදය පෙර දින මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර පොලිසිය වටලන තෙක්ම පවත්වා ඇත.  මෙම සාදය සංවිධානය කළ පුද්ගලයා  බේරුවල නල්ලහේන ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු බවත් ඔහුගේ බාල වයස්කාර දරුවකුගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති බවත් අසල්වාසී නිවැසියන්ට මෙමගින් දිගින් දිගටම හිරිහැරයක් හේතුව නිසා බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලිකවම ලද දුරකතන ඇමතුම්වලින් අනතුරුව මෙම නිවෙස පොලිස් කණ්ඩායමක් වැටලූ බව කියයි.


සාදය පැවැති නිවෙස වැටලීමේදී බලපිටිය, හික්කඩුව වැනි පිටස්තර ප්‍රදේශවල සැකකරුවන් සිව්දෙනකු ද මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඉන් එක් සැකකරුවකුට අයත් සාදයට පැමිණි බව කියන මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් කාන්තා නිලධාරිනියක් ඇතුළු කණ්ඩායම එම නිවෙස වටලන අවස්ථාවේ නිවෙස් හිමියාගේ බිරිඳ වන කාන්තාව, දරුවන් ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් නින්වෙසේ සිට  ඇති බව කියයි. අත්අඩංගුවට ගත් පිරිස එම අවස්ථාවේ කොරෝනා නීති සියල්ලම උල්ලංඝනය කරමින්  සිටි බවත් නිවෙස වැටලීමට ගිය නිලධාරීහු කියති. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.


  -තුසිත කුමාර ද සිල්වා-