කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කෝවිඩ් එන්නත ලබා ගැනීමට පැමිණි පිරිසකට එය ලබා ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයේදී උණුසුම් තත්වයක් ඇති විය. පෙරේදා (11)දා සිට එත්තත් කිරීම ආරම්භ වූ අතර ඊයේ (12)දා උදෑසන සිටම සොඛ්‍ය නිලධාරි කාර්යාලය අසලට රැස්ව වූ විශාල පිරිසක් තම වාරය එනතුරු රැදී සිටියහ. 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට සිට වෙලේකඩේ හන්දිය දක්වා අව් රශ්මිය ද නොතකමින් එන්නත ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිමේ රැදී සිටියද පැය කිහිපයක් ගතවද්දී එන්නත්කරණය අවසන් බවට දැන ගැනීමට ලැබීමෙන් එහි සිටි පිරිස කෑ ගසමින් විරෝධය පළ කිරීම නිසා එම ස්ථානයෙහි උණුසුම් තත්වයක් ඇති විය. අනතුරුව එම ස්ථානයට පැමිණි නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරික්ෂක දිනේෂ් අත්තරගම මහතා ඇතුළු එහි නිලධාරී පිරිසක් උද්ගතව ඇති තත්වය පිළිබඳ පහදා දි එම පිරිස් අදාළ ස්ථානයෙන් පිටත් කර හැරීමට පියවර ගන්නා ලදී. මේ පිළිබඳ අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් පවසා සිටියේ ලැබී තිබූ එන්නත් 2500ක් ලබා දුන් බවයි.
 (බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)