gamini-lokuge-returns

පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ වෛරස් හේතුකොට පැනවූ හුදෙකලාභාවය පනවා ඉවත්කරනුලැබීම පසුගියදා ආන්දෝලනයට තුඩු දුන්නේය. ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙය සිදුවී තිබුණි. කෙසේ නමුත් ගාමිණී ලොකුගේ මහතා මෙම අනිසි බලපෑම් කිරීම වැරැද්දක් ලෙස නොදකින අතර තම වාසියට හරවාගෙන තමා ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකමක් ඉටු කළ ආකාරයට ඒ ගැන කතා කරයි.


මෙම හුදෙකලාබව පැනවීම හෝ පනවා ඉවත්කිරීමේ වැරැද්ද යළි නිවැරදි කිරීමේ වගකීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුවුවත් සිදුවීමෙන් දින 4 ක් ගතවීත් තවම එහි වෙනසක් කර නැත. මාධ්‍ය වෙත පැමිණ ඔහු තම අනුදැනුම තොරව මේවා සිද්ධවූ බව පමනක් කියමින් සිටී. ඒ අතර ඊයේ මෙම ප්‍රදේශයේ තත්වය ගැන නැවත කමිටුවකින් සමාලෝචනය කරන බව පමණක් දන්වා තිබුණි.
ගාමිණී ලොකුගේගේ සහචරයින් සතු විවිධ ආකාරයේ ව්‍යාපාර ජාලාවක් ලොක්ඩවුන්වීම සමග ඇණහිටින බවත් එම පාඩුව විඳින්නට ඇති අකමැත්ත නිසා ඔහු එකී අවස්ථාවේ බලපෑම් කළ බවත් ඇතැමුන් චෝදනා කර තිබේ.

මේ අතර ගාමිණී ලොකුගේගේ බෑණනුවන් වන හිටපූ පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරා මහතා කොවිඩ් ආසාධිතයෙකු ලෙස හදුනාගෙන ඇතැයිද ඊයේ වාර්තා විය. ඊට අමතරව ලොකුගේගේ නිවසෙට යාබද කාර්යාලයේ ඔහු සේවය කරන 3 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස පසුගිය සතියේ හමුව ඇති අතර තවත් 4 දෙනෙකුගේ වාර්තා අද දින ලැබීමට නියමිතව තිබුණි.

තමා සමග වැඩ කරන අය කොරෝනා රෝගීන් බව දැනගත්තත් ගාමිණී ලෙකුගේ මහතා නිරෝධායනයට යොමුවූයේ නැති අතර ඔහු පසුගිය සඳුදාත් දේශපාලන සාකච්ඡා වලට සහභාගීවූ බව වාර්තා විය.

මේ අතර යූටියුබ් නාලිකාවක් මගින් කළ විමසීමකදී ගාමිණී ලොකුගේ පවසා ඇත්තේ පිලියන්දල ලොක්ඩවුන් කිරීමට තමා ඉඩ නොදෙන බවත් ආයිත් වැහුවොත් ආයිත් ඒගැන මැදිහත්වී කටයුතු කරන බවත්ය. එම සාකච්ඡාවේදී ඔහු කියා සිටින්නේ පිලියන්දලින් ආසාදිතයින් හමුව ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත් තැන් තැන්වල තුනක් හතරක් පමණක් වාර්තාවී ඇත් බවත්ය.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් පිළියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙන් ඉකුත් 19 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් ආසාධිතයින් 400 දෙනෙකු හදුනාගෙන ඇති බවද කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසා තිබුණි.
එයින් වැඩිම ආසාධිතයින් පිරිසක් හමුවී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ කහපොළ ප්‍රදේශයෙන් බවද වාර්තා විය.