covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


පිළියන්දල මාවිත්තර

හුදෙකලා කරන ලද පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක නිරෝධාය නීති උල්ලංඝනය කරමින් සේවය කරමින් සිටි සේවක සේවිකාවන් තිස් දෙදෙනෙකු නිරෝධායන කිරීමට පියවර ගත් බව පිළියන්දල පොලිසිය කියයි. ඒ හේතුවෙන් එම වෙළඳසල වසාදැමීමට උපදෙස් දුන් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගොරකපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලුප ජයවර්ධන මහතා පැවසීය. මාවිත්තර ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඇණවුම් ගෙයින් ගෙට ගොස් බෙදා දීමට පමණක් සෞඛ්‍ය අංශ මගින්  මෙම වෙළෙඳසලට අවසර තිබූ බව පොලිසිය කියයි .

සේවක සේවිකාවන් දොළොස් දෙනකුගෙන් සමන්විත අවම කණ්ඩායමක් පමණක් යොදාගෙන එලෙස සිදු කිරීම සඳහා අවසර ලබා දී තිබිණි. එහෙත් වෙළෙඳසලේ  කළමනාකරු උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් සේවක සේවිකාවන් ගෙන්වාගෙන, සෞඛ්‍ය නිර්දේශ නොතකමින් මෙලෙස තරුණ තරුණියන් සේවයේ යොදවා සිටියදී වැටලීම කළ බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය.එම සේවක ස්විකාවන් භාරව කටයුතු කළ තරුණයාට සහ තරුණියට පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය නිලධාරින් තදින් අවවාද කර ඇත.  අලුතින් සේවයට බඳවාගෙන සිටි තරුණ තරුණියන් දුරබැහැර පෙදෙස්වල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

බුලත්සිංහල

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු පෙරේදා 10 දිනය තුළ වාර්තාවීමත් සමග කොවිඩ් තුන්වැනි රැල්ලේ රෝගීන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි. මෙසේ අලුතෙන් වාර්තා වූ රෝගීන් 61 දෙනා හඳුනා ගැනීමට ලැබී ඇත්තේ පසුගිය 5 වැනිදා බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී  සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා  ලැබීමෙන් පසුව බවත් ඒ අනුව ඉහළ නාරගල 05, ගොවින්න 07, මහගම 09, බෝගහවත්ත 05, දෙමෝදරවත්ත 02, පොලේගොඩ 01, දියකඩුව 05, බුලත්සිංහල  12, ඈගල්ඔය 04, දෙමෑල්ල 02, බෝතලේගම 01, හල්වතුර 02 සහ  යටගම්පිටිය 06 වශයෙන් බවත් ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ වයිරසය ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 904 දක්වා ඉහළ යන අතර ඉන් රෝගීන් 835ක් සුවය ලබා ඇත. නිරෝධායනය කර ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 1691 දක්වා ඉහළ යන අතර ඉන් පවුල් 1456 ක් නිරෝධායනය අවසන් කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිල වාර්තා මගින් පෙන්වා දී තිබේ.


දොම්පේ

දොම්පේ දිස්ත්‍රික් රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වාට්ටු දෙකම ආසාදිතයන්ගේ පිරී ගොස් ඇති බව රෝහල් බලධාරීහු පවසති. මේ වනවිට එම වාට්ටුවල ආසාදිතයන් 42දෙනෙකු ප්‍රතිකාර ලබන බව පවසන ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් වෙද කුමාරී ගුණරත්න මහත්මිය, විවිධ ප්‍රදේශවලින් රෝහල වෙත යොමුකරන ආසාදිත පිරිස් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගන්නා බවද පැවසුවාය. කෙසේ වෙතත් රෝහල වෙත යොමු කරන ආසාදිතයන් අතුරින් බෝ නොවන රෝග ඇති පුද්ගලයන් සඳහා ඉඩකඩ තිබෙන පරිදි ප්‍රතිකාර සදහා රදවා ගන්නා බවද වෛද්‍ය කුමාරි ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ දොම්පේ පොලිස් බලප්‍රදේශයේ තිදෙනකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි දොම්පෙ පොලිසිය කියයි.  පැලහැල පදිංචි 67 හැවිරිදි පිරිමි අයකු හා වානලුව උතුරු පදිංචි 71 හැවිරිදි කාන්තාවක ගම්පහ රෝහලේදීත්, 60 හැවිරිදි පුටුපාගල පදිංචි කාන්තාවක මහරගම අපේක්ෂා  රෝහලේදීත් මියගොස් ඇති බව පොලිසිය කියයි. මොවුන්ගෙන් දෙදෙනකු ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේදීත් එක් අයකු මහරගම තලපත්පිටිය ආදාහනාගාරයේදීත් ආදාහනය සිදු කොට තිබේ.


දෙහිවල

දෙහිවල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක නිලධාරී මණ්ඩලයේ 11දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වීම නිසා එම බැංකුව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබිණියි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.මෙම ආසාදිතයන් ඔවුන්ගේ පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත යොමුකර බැංකු පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කරනු ලැබූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.

ගල්ගමුව
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර පිණිස ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය මවකගේ දේහය පවුලේ ඥාතීන්ට භාරදී නිවසට ගෙන ගිය පසු එම මවගේ දේහයේ කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මෘතදේහය නැවත රෝහලට ගෙනවිත් නිරෝධායන නීති යටතේ ගල්ගමුව ආදාහනාගාරයේදී ඊයේ (11) ආදාහනය කිරීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, 74 හැවිරිදි ගල්ගමුව, තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. අසනීප තත්ත්වයක් මත රෝහලේ න්වාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් ඇය කෝවිඩ් ආසාදිතයෙකු බව තහවුරුවීම නිසා පසුගියදා (09දා) මියගිය අයගේ දේහය පෙරේදා (10දා) ඇයගේ පවුලේ ඥාතීන්ට භාරදී තිබෙන අතර, සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් අයට වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වීම නිසා දේහය නැවත ගල්ගමුව මූලික රෝහලට ගෙනවිත් ඊයේ (10දා) ආදාහනය කළ බව සෞඛ්‍ය අංශ නිලධාරියෙක් පැවසීය.

ගල්ගමුව මූලික රෝහලට නියමිත මෘත ශරීරාගාරයක් හා අධිශීතකරණ පහසුකම් නොමැතිවී මෙම අවදානම් තත්වයට හේතුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දිවුලපිටිය

දිවුලපිටිය හා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල පදිංචි එක්දහස් හාරසියදෙනෙකුගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා දින හයක් ගතවී ඇතත් මේ දක්වා ලැබී නොමැති හෙයින් බරපතළ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි දිවුලපිටිය හා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ පුද්ගලයන් හාරසීයකගේ පී.සී.ආර්.පරික්ෂණ සඳහා සාම්පල ඉකුත් 05වනදා රසායනාගාර වෙත යවා ඇති නමුත් ඒ පිළිබඳ වාර්තා ලැබී නොමැති හෙයින් අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැඩිලෙසම ගැටලුකාරි තත්වයකට පත්ව ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය. එසේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ලැබීම දින ගණනාවක් ප්‍රමාද වීම හේතුවෙන් ජනතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දොස් පැවරීම් කරන හෙයින් මෙයට ඉක්මන් විසදුමක් ලැබිය යුතු බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.මේ අතර මිනුවන්ගොඩ සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දෙකෙහි කෝවිඩ් පරීක්ෂාවට අවශ්‍ය රැපිඩ් ඇන්ටිජන් කට්ටල ඊයේ (11දා) වනවිටත් එම කාර්යාලවල නොමැති බව කාර්යාල ආරංචි මාර්ග පවසයි. අපහසුතාවට පත්ව සිටින බව මනජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මොරටුව

මොරටුව අලුත්ගාලුපාර පදික වේදිකාවේ තිබී වයස අවුරුදු හැටක පමණ වන පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ (11) හමු වූ බවත් එම සිරුර ත්‍රිරෝද රථයකින් අදාළ ස්ථාන්යට ගෙනවිත් දමා ගොස් ඇති බවත් මොරටුව පොලීසිය පවසයි.පුද්ගලයෙකු වැටී සිටින බවට සුවසැරිය ගිලන්රථ සේවයට කළ දැනුම්දීමට අනුව එහි කාර්යමණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව පරික්ෂණවලදී අනාවරණය විය. අදාළ ස්ථානයේ සී.සී. ටී.වී පරීක්ෂාවේදී උදෑසන මළසිරුර කොළ පැහැති ත්‍රිරෝද රථයකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා යන අයුරු දැකගත හැකිවූ බව පොලිසිය සඳහන්කරයි. මරණකරු කාගේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මොරටුව  ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා විසින් අදාළ මෘතදේහය මහේස්ත්‍රාත් පරික්ෂාව සිදුකරන ලදී. මහේස්ත්‍රාත් පරීක්ෂාවෙන් අනතුරුව මළසිරුර පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. මියගිය පුද්ගලයාගේ දේහය පි.සී.ආර් පරික්ෂණයක් සදහා යොමු කිරීමට නියමිතව බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව ප්‍රධාන පොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත ලොකුගේ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ළහිරු මහතා ඇතුළු නිලධාරි වැඩිදුර පරික්ෂණ පවත්වති.

බූස්ස
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 08දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (11දා) තහවුරු වී ඇතැයි බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි. එහි රැඳවියන් 254දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කොට ඇති අතර එහි ප්‍රතිඵල අනුව රැඳවියන් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. මෙම රැඳවියන් බන්ධනාගාරයෙහි වාට්ටු දෙකක නිරෝධායනය වෙමින් සිටියදී පී.සී.ආර් පරීක්ෂනය සඳහා ලක් කරනු ලැබ තිබේ. ආසාදිත රැදවියන් වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.


ගාල්ල

ගාල්ල පොලීසියේ නිලධාරින් 10 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (10දා) අනාවරණය වී තිබේ. එහි දිසා අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කළ උපපොලිස් පරික්ෂකවරයෙකුට, පොලිස් සැරයන්වරයන් 02කට, පොලිස් කොස්තාපල්වරුන් 06දෙනෙකුට හා රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු මෙසේ ආසාදිතයන් බවට පත්ව ඇත. එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් යුවළකට මීට පෙර කෝවිඩ් වයිරසය ආසාදනය වී තිබූ අතර එම යුවළගේ පළමුපෙළ ආශ්‍රිතයන් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කොට පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරීමට කටයුතු කළ බව ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පැවසීය.ඒවායෙහි ප්‍රතිඵල පෙරේදා (10දා) ලැබී ඇති බවත් එම වාර්තාවලට අනුව පොලිස් නිලධාරීන් 10දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද ඒ මහතා පවසා සිටියේය.

හබරාදුව
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම ගාල්ල දිස්ත්‍රික් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය විසින් ගාල්ල නගරයේ පිහිටි අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන වෙළෙඳසල් හැර අනිකුත් වෙළෙඳසල් ඊයේ (11 වැනිදා) සිට වසා දැමීමට තීරණය කළ ද ඊට ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවූ බව ගාල්ල දිස්ත්‍රික් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති විපුල් ජයරත්න පැවසීය.
ගාල්ල නගරයේ වෙළෙඳසල් කිහිපයක් හැර සෙසු වෙළෙඳසල් බහුතරයක් ඊයේ (11 වැනිදා) විවෘත කොට තිබිණි. කෙසේ වුවද ඊයේ ගාල්ල නගරයට පැමිණි ජනතාවගේ විශාල අඩුවීමක් දක්නට තිබිණි.
මේ පිළිබඳ අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීවේය.
ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ ඉල්ලීමකට අනුව ඊයේ (11 වැනිදා) සිට දින 14ක කාලයක් ගාල්ල නගරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන වෙළෙඳසල් හැර අනිකුත් වෙළෙඳසල් වසා දැමීමට අපි ඉල්ලීමක් කළා. අපි බලකිරීමක් කළේ නැහැ. මේ සඳහා ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රතිචාර දක්වලා නැහැ.
 පළමු පෙළ ආශ‍්‍රිතයන්ගෙන් ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ සාම්පල් 250ක් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළ ගොඩගසා ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප‍්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
 රාසායනාගාර ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවද ඒ මහතා පවසයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය මගින් පී.සී.ආර් සාම්පල් භාර නොගන්නා බව සඳහන් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම තත්ත්වය නිසා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි පළමු පෙළ ආශ‍්‍රිතයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සාම්පල් ලබාගැනීම දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවද හෙතෙම පවසයි.



අහංගම
 නිදි යහනේ දී මියගිය තිදරු පියාගේ මරණය වී ඇත්තේ කොවිඞ් නිව්මෝනියාවෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.
 මෙසේ නිදියහනේ දී මියගොස් ඇත්තේ 71 හැවිරිදිවියේ පසුවන අහංගම, මීගහගොඩ, කළුවගහදුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙකී පුද්ගලයා රාත‍්‍රි ආහාරය ගෙන නින්දට ගොස් ඇති අතර පසුදින අලූයම 5.30ට පමණ බිරිඳ තේ කොප්පයද රැගෙන ගොස් මොහු අවදි කිරීමට උත්සාහකොට ඇත. එම අවස්ථාවේ දී මොහු කථාකොට නොමැති අතර අංක 119 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දී ඇත. මෙකී පුද්ගලයා මියගොස් ඇති බව පසුව දැන ගෙන ඇත. මෘතදේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකොට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී මෙකී තිදරු පියාට කොවිඞ් වෛරසය වැළඳී ඇති බවට අනාවරණය වී ඇත.
 
මිහින්තලය

කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම නිසා මිහින්තලය නගරයේ පිහිටි රාජ්‍ය බැංකු දෙකක් තාවකාලිකව වසා දමා ඇත.
මිහින්තලය නගරයේ පිහිටි මහජන බැංකුවේ ආරක්ෂක නිලධාරියකුට වයිරසය ආසාදනය වීම නිසා එම ආයතනය දින තුනකට ආසන්න කාලයක් වසාදමා තිබේ. මේ අතර ආසාදිත ගනුදෙනුකරුවකු බැංකු පරිශ්‍රයට පැමිණීම හේතුවෙන් පෙරේදා (10 වැනිදා) සවස සිට ලංකා බැංකු ශාඛාවේ කටයුතු ද දින තුනක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.
මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර තිබෙනා අතර ඔවුන්ගේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව බැංකු නැවත ගනුදෙනු සඳහා විවෘත කිරීමට නියමිතය.

මහනුවර

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (11 වැනිදා) පෙරවරුව වනවිට නව ආසාදිතයන් 191 දෙනකු හමුවී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයන් 191 දෙනා අතුරින් 31 දෙනකුම හමුවී ඇත්තේ මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙනි.


රත්නපුර

කුකුළේගඟ විදුලි බලාගාරයට අයත් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය කෝවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට තීරණය කළ බව රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පැවසීය.එම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (11දා)  එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "කලවාන මැතිවරණ කොට්ඨාසයේ කෝවිඩ් වසංගත තත්වය තදින් පැතිරීම නිසා මේ වනවිට ග්‍රාම සේවා වසම් 21ක් හුදෙකලා කර තිබෙන අතර එම තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත්තා. ඇදන් 150කින් සමන්විත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය දින දෙකක් තුළ සකස් කිරීමට පියවර ගන්නවා. කලවාන රෝහලේද කෝවිඩ් ආසාදිතයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර තිබෙනවා.” යැයි ද පවසා සිටියේය.

කොත්මලේ

පූඩළුඔය පොලිස්වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගලුම් කර්මාන්තශාලාවක නිලධාරීන් සේවකයන් 6 දෙනෙකුට කෝවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බවට පෙර්දා (10දා) තහවුරු වූ නිසා එම ඇඟලුම් කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමා එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්බව  කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.එම ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයන් 850දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙක්කුගෙන් පෙරේදා (10දා) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂ අනුව එම ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයන්, නිලධාරීන් ඇතුළු 69දෙනෙකුට කෝවිඩ් 19 වරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


හැටන්
 
 හැටන් නගරයේ සමහර මත්පැන් හල්වල (වයින් ස්ටෝර්ස්) සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මත්පැන් විකිණීමත් සමග හැටන් ප‍්‍රදේශයේ කොවිඞ් වසංගතය පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බව හැටන් ප‍්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
 මේ පිළිබ`දව වැඩිදුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන් නගරයේ පවත්වා ගෙන යනු ලබන සමහර මත්පැන් හල්වල සමාජ දුරස්ථභාවයකින් තොරව මෙන්ම එකම වීදුරුවේ කිපදෙනකුට ම මත්පැන් පානය කිරීමට ඉඩ ලබා දීමෙන් මෙම ප‍්‍රදේශයේ කොවිඞ් පැතිරයෑමේ අවදානමක් පවතින බවත්ය.
 

පොතුහැර
පොතුහැර රංජනගම ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි ළමයින් හය දෙනකුට සහ එහි පාලිකාවන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පවසයි.

එම සුරැකුම් මධ්‍යස්ථනාය විදේශීය රටක ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ආයතනයක් මගින් පාලනය වන බවද හෙළිවී තිබේ.


මඩකලපුව

මඩකලපුව මූලස්ථාන පොලිස් වසමේ කොට්ටමුණේ සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ හුදෙකලා නීතිය උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වූ සංවිධායකයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සහභාගි වූවන් 25 දෙනකු හුදෙකලා කර ඇත.
සාදය සහභාගි වූවන් වැඩි පිරිසක් මුඛ ආවරණ නොපැලඳූ බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.

යාපනය නෙල්ලිඅඩි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපදින සාදයක් පැවැත්වූ තරුණියක පෙරේදා (10 වැනිදා) සවස අත්අඩංගුවට ගත්බව තෙලිඅඩි පොලීසිය පවසයි.  සැකකාර තරුණිය සිය 23 වැනි උපන්දිනය සැමරිම සඳහා 50 අධික පිරිසක් නිවෙසට ගෙන්වා ගනිමින් ඩීජේ සංගීත වාදනය කරමින් උපන්දිනය සමරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ දැනුම්දීමක් මත තරුණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.  තරුණියගේ නිවසෙහි භාවිත කළ ඩීජේ සංගීත උපකරණ හා ශබිද විකාශන යන්ත්‍ර ද පොලිසිය බාරයට ගත් බව සඳහන් කළේය.

යාපනයේ වඩමරච්චි නෙල්ලිඅඩි ප‍්‍රදේශයේ චූන්පාන් රැගෙන ගිය පුද්ගලයකුට හා එම බේකරියේ සේවකයකුට කොරෝනා රෝගය වැළඳීම නිසා එම බේකරිය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට යාපනයේ සෞඛ්‍ය බලධාරින් 10 දා පියවර ගෙන තිබේ. බේකරියේ සේවකයන් සියලූම දෙනාද නිරෝධායනයට ලක්කොට තිබේ. මේ අතර යාපනයේ වඩමරච්චි ප‍්‍රදේශයේ තරුණියක් සිය 21 වැනි උපන් දිනය නිමිත්තෙන් විශාල සාදයක් සංවිධානයකොට තිබූ අතර එම සාදයට සහභාගී වූ පිරිස ඉවත් කළ නෙල්ලිඅඩි පොලිසිය එම තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.


රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහල
රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් 13 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබේ. එම පිරිස ආයුර්වේද රෝහල් භූමියේම පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබති.
මේ නිසා රෝහලේ වාට්ටු දෙකක් වසා දමා ඇති අතර එහි සිටි රෝගීන් පළාත් ආයුර්වේද රෝහල්වලට යොමු කිරීමට සැලසුම් කර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ නිවෙසෙහි සාදයට සහභාගිව සිටි බොහෝ පිරිසක් එම ස්ථානයෙන් පැන දිවගොස් ඇතැයි ද පොලිසිය පැවසීය.  පවතින කොරෝනා වයිරස අවදානම හේතූවෙන් උත්සව සහ සාද තහනම් කොට තිබියදී තරුණිය මෙම සාදය සූදානම් කර තිබූ බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාරිය නෙල්ලිඅඩි,  කුඩවතෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක වේ.  සැකකාර තරුණිය පේන්දුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.