
කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු ජනතාවට ලබාදීමට ක්‍රියාන්විතයට සම්බන්ධ සෞඛ්‍ය බලධාරීන් හැර අන් අයට නොහැකි බවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය මුණසිංහ මහතා මීට දින කිහිපයකට පෙර තහනමක් ගෙන ආවේය. මෙයට හේතුවූයේ කවරක්ද යන්න දක්වා නොතිබුණත් අද වනවිට එයට හේතුවී ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය ගැන නොබියව භයානක අනතුරු අඟවුමක් කළ වෛද්‍ය චමල් සංජීව බව හඳුනාගන්නට ලැබේ.
වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශ වතු හා නාගරික නියෝජ්‍ය අධ්යක්ෂ ධූරය දරන අතර පසුගිය මැයි 16 වන ඉරිදා දිවයින පුවත්පතට
‘ලොක්ඩවුන් නොකළොත් ජනගහනයෙන් සියයට හැටක් අනතුරේ... මරණ දෙගුණ වෙයි... ඉදිරි සති 04 වඩාත් අනතුරුදායකයි... ‘ යනුවෙන් ලිපියක් ලියා මෙම අනතුරු ඇඟවීම මුල්වරට කළේය. පසුව ඔහුව රූපවාහිනී නාලිකාවලට හා යූටියුබ් නාලිකාවලටද ගෙන්වාගෙන තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාව සලසාදී තිබුණි. ඔහු එම වැඩසටහන්වලදීද සිය අනතුරු ඇඟවීම වඩාත් පැහැදිලි කරන්නට කතා කළේය.
මීට ඉහත හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ධුරයද දැරූ චමල් සංජීව නිරන්තරයෙන්ම පත්තරවලට ලියන මාධ්‍ය සමග සමීපව වැඩකරන පුද්ගලයෙකි.
විදුසර විද්‍යා සඟරාවෙන් ලිවීම ආරම්භ කළ සම්මානලාභී ලේඛකයෙකුද වූ ඔහුගේ ලිපි විද්‍යාත්මක හා පර්යේෂණාත්මක වූවා මිස දේශපාලනික අරමුණු වලින් යුක්තවූ බවක් වාර්තාවන්නේ නැත.
2013 වසරේ මුල්වරට මෙම විනාසකාරී වෛරසයට නමක් නොතිබුණ කාලයක ‘කොරෝනා‘ යන නමක්ද යොදා කොරෝනා වෛරසය ගැන අනාවැකියක් පළකරමින් අනතුරු අඟවා සිටි නිසා ඔහු ගැන මීට ඉහතද කතාබහක් ඇති විය.
වෛද්‍ය චමල් සංජීව පසුගිය සතියේ දිවයින පත්තරෙන් අනතුරු ඇඟවීම කර දන්වා සිටියේ රට ව්‍යසනයකින් බේරාගන්නට ඉක්මණින් ලොක් ඩවුන් කරන ලෙසයි. එය මේ වනවිට තවත් වෛද්‍යවරු ගණනාවක්ද දන්වා සිටින කරුණකි. නමුත් ඒ කාරණාව ගැන සොයනු වෙනුවට ඔහු ගැන දැන් විනය පරීක්ෂණයක් කරන්නට යන බව වාර්තාවේ. ඔහුට අද සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ එම පරික්ෂණයට පෙනී සිටින ලෙසද දන්වා තිබුණි.
අද (21) දින සන්ධ්‍යාවේ ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකදීත් වෛද්‍යවරුන්ට අදහස් තිබේ නම් තමා වෙත දන්වන ලෙසත් මාධ්‍ය වලට කියමින් නොයන ලෙසත් අවධාරණය කරන්නට ඇත්තේ චමල් සංජීව නිසා විය යුතුය.
පහත පළවන්නේ වෛද්‍ය චමල් සංජීව දිවයින පත්තරයට යොමු කර තිබූ ආන්දෝලනයට හේතුවූ ලිපියයි.

Comments
Post a Comment
Your comment will be visible after approval