anuradapura-incident

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථාන දෙකක වැඩසිටි හිමිනමක් හා මෙහෙණින් වහන්සේ නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සක්මන් කරමින් සිටියදී ඇදවැටී අපවත් වූ හිමිනම කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා අපවත්වී ඇති බව වෛද්‍ය අංශ විසින් තහවුරු කෙරුණි.



අපවත්වූ හිමිනම අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිට ඇති අතර, පසුගිය 13 වැනිදා උදෑසන සක්මන් කරමින් සිටියදී කුටියක් ආසන්නයේ හදිසියේ ඇදවැටී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය සඳහන් කළේය. උන්වහන්සේ උඩුබැලි අතට ඇදවැටී සිටිනු දුටු සාමණේර හිමිනමක් ඒ පිළිබඳ සෙසු හිමිවරුන්ට දැන්වීමෙන් පසුව එම ස්ථානයේ රාජකාරිවල නිරතවූ පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් එක්ව හිමිනම රෝහල් ගතකර තිබුණි. අදාළ හිමිනම රෝහල් ගතකරනා විටත් අපවත්වී සිටි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබුණි. පසුව 14 වැනිදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ දෙකකදී උන්වහන්සේට කොවිඩ් 19 වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබුණි. අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක හදිසි මරණ පරීක්ෂණය පවත්වා අපවත් වූ හිමිනමගේ දේහය අදාහනය කිරීම සඳහා නියෝග ලබාදුන්නේය.

බුද්ධික මහේෂ් - අනුරාධපුර