pushpika-de-silva-mrs-sri-lanka2021

ඊයේ සවස නෙළුම් පොකුණ රඟහලේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී සාමාන්‍යයෙන් තරගයක සිදුනොවන අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.
විවාහක රූ රැජිණ ලෙස තරගය ජයග්‍රහණය කළේ මින් ඉහතත්  රූ රැජිණ තරග දිනූ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි. තුන්වෙනියා දෙවැනියා පළමුවෙනියා ආදී ලෙස තරගකාරියන් නම් කර ඇය ජයග්‍රාහිකාව බවට ප්‍රකාශයට පත් කර පුෂ්පිකා ජයගත් බව නම් කරන ලද පසු ඇයට රාජපක්ෂ මහත්මිය ඔටුන්නද පළඳවනු ලැබූ අතර ඉන් පසු සභාවේ කිසියම් අයෙකු උස් හඩින් කථාකරමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විවාහක වුවත් දැන් දික්කසාදවී සිටින්නියක බවත් තරග නීතිරීති අනුව ඇයට කිරුළ පිරිනැමිය නොහැකි බවත් තර්ක කරනු ලැබීය.


 මේ අතරවාරයේ එම අදහසට එකඟතාව පළකරමින් තරග තීරක ලෝක රූ රැජිනි කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයකු බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.
තරඟකාරනී අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඒ අනුව ප්‍රසිද්ධියේ ගළවනු ලැබූ අතර ඇය ආසන්නයේම සිටි දෙවැනියාට කිරුළ පළඳවනු ලැබුවේ ඇයට මහත් ලජ්ජාවක් අත්කර දෙමිනි.
පුෂ්පිකාගේ කිරුළ ගැළවූ පසු ඇය වේගයෙන් එතැනින් ඉවත්ව ගියාය.


පුෂ්පිකා සිය විවාහයෙන් දික්කසාද වී ඇත්තේ 2018 වසරේ සිටය. ජයග්‍රාහිකාව  නම් කරන අවසන් මොහොත වනතුරු තරග නීති රීති සම්බන්ධයෙන් විනිසුරු මණ්ඩලය තැකීමක් නොකිරීම ගැටලුකාරී වන අතර ජාත්‍යන්තර තරගාවලිය සඳහා ලංකාවේ ජයග්‍රාහිකාව තෝරා යවන මෙම තරගාවලිය අවිධිමත් හා අශෝබන එකක් බවට මේ අනුව පත්ව තිබේ.