prince-philip-funeral

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමඟුල් උත්සවය බ්‍රිතාන්‍ය වේලාවෙන් ලබන සෙනසුරාදා (17 වැනි දා) පස්වරු 3ට පැවැත්වෙනු ඇති බව නිවේදනය කර තිබේ. එය පැවැත්වෙනු ඇත්තේ වින්ඩ්සර් මාලිග පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේය. කොවිඩ් වසංගත තත්ත්වය නිසා අවමඟුල් උත්සවය වඩාත් සරල ආකාරයෙන් පැවැත්වෙනු ඇති බවද සඳහන්ය. පිලිප් කුමරුගේ ඉල්ලීම වී තිබී ඇත්තේද එවැනි සරල අවමඟුල් උත්සවයකි.



මහජන ගෞරව දැක්වීම් නැහැ

සෙනසුරාදා වන තෙක් ඔහුගේ සිරුර වින්ඩ්සර් මාලිගයේ තැන්පත් කර තැබෙනු ඇති අතර මහජනයාට ඊට ගෞරව දැක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. සෙනසුරාදා එය මාලිගයේ සිට දේවස්ථානය වෙත රැගෙන යනු ඇත්තේ නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථයක තැන්පත් කරය. එයද පිලිප් කුමරුගේ ඉල්ලීමක් බව සඳහන් වේ. මෙම ලෑන්ඩ් රෝවර් රථය නවීකරණය කර ඇත්තේද ඔහුගේ සැලැස්මකට අනුවය.

අවමඟුල් පෙරහර විනාඩි 8යි

අවමඟුල් පෙරහර සඳහා ගත වනු ඇත්තේ විනාඩි 8ක පමණ කෙටි කාලයකි. චාල්ස් කුමරු ඇතුළු පවුලේ සාමාජිකයන් අවමඟුල් පෙරහරේ ගමන් කරනු ඇති අතර මහ රැජින දේවස්ථානය වෙත පැමිණෙනු ඇත්තේ වෙනමය.

හැරී එනවා; මෙගන් නැහැ

පසුගිය දිනවල රජ පවුල සමග ගැටුම් ඇති කරගත් හැරී කුමරු සහ මෙගන් මාර්කල් අවමඟුල් උත්සවයට සහභාගි වනු ඇත්ද යන්න සම්බන්ධයෙන්ද විශාල කුතුහලයක් ඇතිව තිබිණි. මේ වන විට ප්‍රකාශ වී ඇත්තේ හැරී කුමරු පමණක් ඊට සහභාගි වීම සඳහා ඇමරිකාවේ සිට පැමිණෙනු ඇති බවයි. ගැබ්බරව සිටින මෙගන් වෛද්‍ය උපදෙස් මත බ්‍රිතාන්‍යට නොපැමිණෙනු ඇති බවද සඳහන් වේ.



චාල්ස්ගෙන් හැඟීම්බර ප්‍රකාශයක්

චාල්ස් කුමරුද සිය පියා සම්බන්ධයෙන් හැඟීම්බර ප්‍රකාශයක් කර තිබෙනු දැකිය හැකි විය. තම පියා බොහෝ දෙනකුගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූ කෙනකු බවද, ඔහු නැති අඩුව රජ පවුලට දැඩි ලෙස දැනෙනු ඇති බවද චාල්ස් කුමරු සඳහන් කර තිබේ. ඔහු තවදුරටත් පවසා ඇත්තේ සිය පියා මහ රැජනට මෙන්ම පවුලටද, රටට සහ පොදු රාජ්‍ය මණ්ඩලයටද මහත් කැප වීමෙන් සේවය කළ අයෙකු බවයි.

අගමැති ජොන්සනුත් අවමඟුල් උත්සවයට නැහැ

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අවමඟුල් උත්සවයට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබීමද අවධානය දිනාගත් පුවතක් විය. ඔහු එවැනි තීරණයක් ගෙන ඇත්තේ හැකි තරම් රජ පවුලේ සාමාජිකයන්ට ඉඩ ලබාදීමේ අවශ්‍යතාව නිසා බව සඳහන් වේ.

අවමඟුලට අමුත්තන් 30යි

කොවිඩ් තත්ත්වය නිසා අවමඟුලට සහභාගි වන අමුත්තන් ගණන 30කට සීමා කර ඇත. මේ අතර ලොව පුරා රාජ්‍ය නායකයන්, ආගමික නායකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ශෝක පණිවුඩ රජ පවුල වෙත ලැබෙමින් තිබේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, දලයි ලාමා, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, හිටපු ජනාධිපතිවරුන් වන ඩොනල්ඩ් ට්‍රම්ප්, බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, ජිමී කාටර්, චීන ජනාධිපති ෂි ජින්පිං ඇතුළු බොහෝ දෙනකු මෙලෙස ශෝකය පණිවිඩ එවා තිබේ.

සහන් වික්‍රමගේ