johnston-speaks

“පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා කොළඹ වරාය නගරය පිළිබඳව කටයුතු කිරිමේදී බෞද්ධයකු ලෙස ගෙදර ගිනි එළියටත්, පිටත ගිනි ගෙදරටත් නොඑන ලෙස කටයුතු කළේ නම් වඩාත් අගනේ" යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.  වරාය නගරය බදු නිදහස් කිරීම් සහ ආයෝජකයන් සඳහා වැඩි ආකර්ෂණයක් ලැබෙන පරිදි සකස් කළ විශේෂ ආර්ථික කලාපයක් බවත් 1978 වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ආරම්භ කරන අවස්ථාවේදී ද මෙවැනිම බිල්ලන් නිර්මාණය කළ බවත් අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකාව සතුව මේ වන විට අපනයන සැකසුම් කලාප 12 ක් සහ කාර්මික උද්‍යාන රැසක් ඇති බවත් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට විශේෂ ආර්ථික කලාප වඩාත් වැදගත් බවත් ඇමැතිවරයා පැවසීය. අමාත්‍යවරයා පැවසුවේ කොළඹ වරාය නගරය චීන කොලනියක් වන බවට චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවය. කුරුණෑගල ප්‍රදේශයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීය.“පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුව පැවැත්වීම වෙනුවට කණ්ඩායම් රැස්වීමේදී වරාය නගරය ගැන සිය අදහස් ඉදිරිපත් කළා නම් වඩා හොඳයි. මේ සම්බන්ධයෙන් ඔහුට බෞද්ධ සාහිත්‍යයේ උගන්වා ඇති දේ අනුගමනය කරන්න තිබුණා. ගෙදර ගිනි පිටත නොදෙන්නත් එළියේ ගිනි ඇතුළටත් නොගන්නත් තිබුණා" . උපාලි විජයවර්ධනගේ නායකත්වය යටතේ 1978 දී මහා කොළඹ ආර්ථික කොමිසමෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය පිහිටුවන විට මේ වගේම කතා කිව්වා. බොරු බිල්ලො මැවුවා. අප සතුව දැනට රට පුරා අපනයන සැකසුම් කලාප 12 ක් සහ කාර්මික උද්‍යාන තියෙනවා. ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම විශේෂ ආර්ථික කලාප ඉතා වැදගත්. එදා මහ කොළඹ ආර්ථීක කොමිසම මගින් කටුනායක අපනයන සැකසුම් කලාපය පිහිටුවන විට ඇති වූ බය බියගම සහ කොග්ගල කලාප පිහිටුවන විට තිබුණෙ නෑ යැයි ද ඔහු කීවේය.

 (යොහාන් භාසුර)