girl-letter-with-abuse-note

වයස අවුරුදු පහළොවක පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් කළ බව කියන 54 හැවිරිදි ඇයගේ ඥාති
සීයා කෙනකු සැකපිට 06දා දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ප්‍රධාන ශිෂ්‍ය
නායිකාවක විසින් විදුහලේ ගුරුවරියකට ලබාදුන් තොරතුරක් මත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව බව
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එස්. පී. එදිරිසිංහ මහතා පැවැසීය.

දඹුල්ල නගරය ආසන්නයේ පාසලක මෙම 15 හැවිරිදි සිදුවියගේ පොත්පත් පරීක්‍ෂා කිරීම් ශිෂ්‍ය නායිකාවන්
විසින් සිදුකරද්දී ඉතිහාසය පොතේ පිටු අතරින් “මහතුන් සීයා මට මතක් වෙනවා” යනුවෙන් සටහනක් තබා
එහි හදවතක රූපයක් සටහන් කොට තිබීම ගැන මෙම සිසුවියන්ට සැකයක් ඉපිද ඇති බව පොලිසිය කියයි.



ඒ අනුව විද්‍යාලයේ පන්තිභාර ගුරුවරියකට මේ බව සඳහන් කොට ගුරුවරිය ඉතා සූක්‍ෂ්ම ලෙස දඹුල්ල
පොලිසියේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිලූකා විජේතිලක මහත්මියට දැනුම්දී එහි
බරපතළ සැකයක් පවතින බවත් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලීමක් කොට තිබේ. මවුපියන් මෙන්ම
වැඩිහිටියන් දැනුවත් කරමින් තමන්ට ලැබුණු පැමිණිල්ල පිළිබඳව ඇය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ
උපදෙස් පරිදි විමර්ශනය කරන්නට වූයේ මෙරට සුවහසක් පාසල් දරුවන්ට මේ දිනවල අත්ව ඇති ඉරණම නිසාවෙනි.

ඉතිහාස පොතේ මහතුන් සීයා මතක් වෙනවා යැයි සටහන් තැබූ පහළොස් හැවිරිදි සිසුවිය සමඟ ඉතා සමීප
වූ පොලිස් පරීක්‍ෂිකා නිලූකා මහත්මිය හෙළි කර ගෙන ඇත්තේ මෙම දියණියගේ ළඟම ඥාති සීයා කෙනකු වන
අයකු ඇයට ලිංගික අතවර අවස්ථා ගණනාවක් කර ඇති බවය.

එම ප්‍රකාශ අනුව පාසල් දියණිය රෝහල්ගත කොට වාර්තාවක් ලබාගෙන 52 හැවිරිදි මහතුන් සීයාගේ අත්
දෙකට මාංචු දැමීමට ඇයට හැකිවී තිබේ.



ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අවස්ථා හතරකදී මෙම කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව
හෙළිවූයේ යැයි පොලිස්

පරීක්‍ෂක නිලූකා විජේතිලක මහත්මිය අප සමඟ පැවැසුවාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය
තවදුරටත් පරීක්‍ෂණ පවත්වන අතර සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. දැරිය
මව භාරයේ පසුවේ.


දඹුල්ල - කේ. කේ. ආරියදාස