නිට්ටඹුවේ පදිංචි වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක මුහුණු පොතෙන් හඳුනාගෙන ඇතිකරගත් පෙම් සබඳතාවකින් පසුව ඇය රවටා දඹානට රැගෙන ගොස් ස්ත්‍රී දූෂණයක් කළැයි නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආදිවාසී තරුණයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අන්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා  නියෝග කළේය.    




මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දඹාන ගුරුගෙදර පදිංචි ඌරුවරිගේ නුවන් ජයතිස්ස නමැති විසි හැවිරිදි ආදි වාසී තරුණයෙකි.  වයස අවුරුදු 16යි මාස 06ක බාලවයස්කාර දැරියක නිත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකළැයි නිට්ටඹුව පොලීසිය මෙම ආදිවාසී තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම බාලවයස්කාර දැරිය පැහැරගෙන ගොස් දඹාන ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුගේ මව වන ඩබ්ලිව්.එම්. ශ්‍රියානි යන අය ද අත්අඩංගුවට ගත් පොලිසිය ඇය ද අධිකරණයට ඉදිරිපත් කළේය.


එහිදී එම සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට ද අධිකරණය නියෝග කළේය.  සැකකරු, බාලවයස්කාර දැරිය සමග වසර දෙකක සිට මුහුණුපොත ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස්  ඇති බවත් එහිදී සැකකරු ඇය රවටා දඹාන ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැගෙන ගොස් මාස තුනක් රඳවා තබාගෙන ඇති බවත් නිට්ටඹුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එහිදී දැරිය දූෂණයට ලක්වී ඇති අතර මේ වන විට දැරිය වතුපිටිවල රෝහළට ඇතුළත් කර ඇති බව අධිකරණයට දැනුම් දුන්  පොලිසිය ඇය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.


වසර දෙකක ප්‍රේම සම්බන්ධයෙන් පසුව මෙම බාලවයස්කාර දැරියට නිට්ටඹුව ප්‍රදේශයේ ඇඟලුම් වෙළෙඳ සලක් ඉදිරිපිටට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති සැකකරු, ඇය රවටා දඹාන ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ දැරියගේ වැඩිහිටියන් කිසිවකුට  හෝ නොදන්වා බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.