covid19-control-sri-lanka

රට තුළ නැවැත වරක් කොරෝනා වයිරසය පැතිරයෑමේ අවදානමක් ඇති බැවින්, ප්‍රධාන කරුණු අටක්
යටතේ දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු - තීරණ ක්‍රියාත්මක කර එම තත්ත්වය පාලනය කිරීමට තීරණය කර තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා දැඩි ක්‍රියාමාර්ග
ගැනීමට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ ක්‍රියාකාරී කාර්ය
සාධන සම්ලෝචන කමිටුව තීරණය කර ඇත.



දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ
ඔක්සිජන් ලබාදීම. දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබාදීම, කොවිඩ් ආසාදිත බවට
තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට
සැලසුම් සකස් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින්
තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම, කොවිඩ් රෝගීන් සඳහා
ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල්ගත වන රෝගීන්ට
ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යෑම,
 PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩි කිරීම, නිරෝධායනය නීති සැමට
දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම්
ලබාදීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම යන කරුණු පිළිබඳව
මෙම සාකච්ඡාවේදී තීරණ රැසක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල්
සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක
ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.