anura-kumara-speaks-port-city

වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමට නීත්‍යනුකූල බලය දෙන කොමිෂන් සභා පනතක් ජනාධිපතිවරයා විසින්
සකසා ඇතැයි ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
 


2/3 බලය උපයෝගී කරගනිමින් 'වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව' නමින් එම පනත ආණ්ඩුව විසින් සකස් කරමින් සිටින බව ද ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

ඒ අනුව, එම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන අතර එම
බලප්‍රදේශ පාලනය වන්නේ ඊට අයත් මහජන නියෝජිතයන් ගෙනි. එමෙන් ම වරාය නගරය පාලනය වන්නේ
අදාළ කොමිෂන් සභාව මගින් බවත් ඔහු සඳහන් කරයි.

දිසානායක මහතා කියා සිටියේ, එකී කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් හෝ නොකර හැරීමක්
යන කාරණා වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ද ඉන් ලැබෙන බවය.

ඊට අමතරව
'කෝප්' හා 'කෝපා' යන ආයතන හමුවට මෙම චීන ප්‍රාන්ත පාලනය කැඳවිය නොහැකිවා සේ ම එම
වරාය නගරයේ ආයෝජනය කළහැක්කේ විදේශිකයන්ට පමණක් බව ද ඒ මහතා කීය.

හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ අදාළ සේවකයන්ට වැටුප් ගෙවීම් යුවාන් මුදල් ඒකකයෙන් ද ආදායම් බදු
නිදහස් කිරීම මෙන් ම පාර්ලිමේන්තුවේ දැනට පවතින වැදගත් ම පනත් ගණනාවක් මේ හරහා ක්‍රියාත්මක
නොවනවා සේ ම බරපතළ කරුණු ගණනාවක් මෙමගින් සිදුවන බවය.

ඔහු මේ බව පැවැසුවේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.


අනුරාධා හේරත්