
යම් පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් හේතුවන් නොමැතිව පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුවහොත් එම පුද්ගලයාට පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට හැකියාවක් ඇත.
එමෙන්ම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ද හැකියාවක් ඇත.
එසේ නොමැතිව නිලඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
සමාජජාල මාධ්‍ය හරහා සමාජගතවෙමින් ඇති වැරදි තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඒ මහතා මේ බව පැවසීය.
පසුගිය දා පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරෙකුට පහරදෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීම පිළිබඳ නිර්ණායක දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්තිවල ඇති බවත්
විශේෂයෙන් 92 සහ 93 වගන්තිවල ඇති ප්‍රතිපාදන අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පෙන්වා දී තිබුණි.
ඒ අනුව 92,93 සහ 96 වගන්තිවල එම කරුණු ඇතුළත් බවත් කිසිම අවස්ථාවක රජයේ සේවකයෙකු තමාගේ නිලයේ නාමයෙන් බලය පාවිච්චි කිරීමේදී ඊට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ නොහැක්කේය යනුවෙන් අදාළ වගන්තියේ සඳහන් බවද අජිත් රෝහණ මහතා පැවසීය.
එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට පහරදිය හැකි බවට සඳහන් යම් තොරතුරු සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වෙමින් ඇති බවත් එය සම්පූර්ණ වැරදි අර්ථකථනයක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval