si-well-buttala

කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීම සඳහා
සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා පදිංචිව සිටි බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස සහ ඒ අවට ද
සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.



බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා  සඳහන් කළේ, අද (4) දිනයේ ද සෝදිසි
මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

ඒ අනුව, හෙට (5) දිනයේදී අදාළ නිවසේ ඇති අඩි 5ක් පමණ ගැඹුරු ළිඳ ද පරීක්ෂා කිරීමට නියමිත බව
ඔහු සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඝාතනයට ලක් වූ
කාන්තාව රැගෙන ආ මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ මල්ලක් පිළිබඳව ද පොලිසියේ අවධානය යොමු වී
ඇති බවය.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා එක් මල්ලක් මිලට ගෙන කාන්තාවගේ සිරුර තැන්පත් කර ඇති බවත් අනෙක්
මල්ල ඔහු කරේ දමාගෙන යන ස්වරූපයක් දක්නට ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්
කළේ ය.



ඒ අනුව, එම කාන්තාවගේ හිස යම් හෙයකින් ඇයගේ ම මල්ලට දමා කාන්තාව සහ සැකකාර උප පොලිස්
පරීක්ෂකවරයා නවාතැන් ගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොළ ආසන්නයේ පිහිටා ඇති කැලණි
ගඟට විසි කරන්නට ඇති බවට සැකයක් මතු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.    

මේ අතර, ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිස සොයා පොලිස් නාවික කොට්ඨාසය කැලණි ගඟේ මෝය කටේ
සිට හංවැල්ල දක්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
සඳහන් කළේ ය.

තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති හෙයින් ඇයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ
පරීක්ෂණය ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සිදු කිරීමට නියමිතය.      

ඝාතනයේ සැකකරු වන උපපොලිස් පරීක්ෂකවරයාගේ මෘත දේහය මොණරාගල, සිරිගල රෝහලේ තැන්පත් කර
ඇති බවත් එහි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (5) දිනයේදී
සිදු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

තාරක සම්මාන්