ravi-alocious

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය දැඩි විරෝධය පළ කළාය.
ඒ අනුව විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කරන ලදි. එම නඩුව අද කැඳවනු ලැබුවේ, දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.


රක්ෂිත බන්ධනාගාරගත කළ  හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 08 දෙනා වැලිකඩ බන්ධනාගරයට රැගෙන යාම අනතුරුව සිදු විය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මෙහි විත්තිකරුවන් වෙති. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, මහබැංකුවේ නිළධාරීන් වන එස්. පදුමනාදන්, ඉන්දික සමක්කුමාර යන විත්තිකරුවන්ද රක්ෂිත බන්ධනාගාර කිරීමට  නියම විය. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජාන් ගාර්ධිය පුංචිහේවා යන විත්තිකරුවන් තවදුරටත් විදේශගතව සිටින බව  රහස් පොලීසිය අධිකරණය දැනුම් දෙනු ලැබීය.

 2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.