galle-women-fight

දකුණු පළාතේ ප්‍රධාන බන්ධනාගාරයක උසස්ම නිලධාරියකුගේ පෙම්වතියට ගාල්ල නගර මධ්‍යයේදී එකී නිලධාරියාගේ බිරිඳ පහරදී ඇති බව ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක පොතේ සටහන් වී ඇත.
 
අධි ආරක්ෂිත බන්ධනාගාරයක සේවය කරන පහර කෑ තැනැත්තිය සිය පෙම්වතාගේ බිරිය තමාට දරුණු ලෙස පහර දුන් බව පොලිස් පොතේ සටහන් කර තිබේ.

මෙකී තැනැත්තිය බන්ධනාගාර මූලස්ථානයේ විශේෂිත අංශයක උසස්ම නිලධාරියකුගේද පෙම්වතිය බව දැනගන්න ලැබේ.



ඇයට එරෙහි වන නිලධාරීන්ට පැය විසිහතරක් තුළ ස්ථාන මාරුවක් ලබාදීමට තරම් ඇය ප්‍රබල චරිතයක් වී සිටින්නේ මූලස්ථානයේ පෙම්වතා උසස් නිලධාරියකු වන නිසා යැයි නිලධාරීන් පිරිසක් අපට ප්‍රකාශ කළහ. මෙම තැනැත්තිය ඔහුට ‘අයියා’’ නමින් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඇයට එතරම් බලයක් ලැබී ඇතැයි ඉහත නිලධාරීහු කියති.

මෙම පහරකෑමට ලක් වූ කාන්තාව සේවය කරන දකුණු පළාතේ අති නවීන බන්ධනාගාරයේ උසස්ම නිලධාරියා මැයගේ නොමනා ක්‍රියාකලාපය ලිඛිතව බන්ධනාගාර මූලස්ථානයට දැනුම් දුන්නද එම ලිපිවලට පිළිතුරු ලැබී නැත. එසේ හෙයින් එම උසස් නිලධාරියාද අපහසුතාවට පත්වී සිටින බව දැනගන්නට ලැබේ.

බන්ධනාගාරවල උසස් නිලධාරීන් මෙලෙස වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා බන්ධනාගාර පද්ධතිය කඩා වැටෙන බව ඔවුන්ගේ අදහසය.

පහර දුන් උසස් නිලධාරියාගේ බිරිඳව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පහරකෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරිනිය රෝහල් ගතවී ඇති බවද ඊයේ (04 වැනිදා) අනාවරණය විය.

හේමන්ත ලියනපතිරණ