
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශයෙන් තොරව මුදානොහරින ලෙසට රේගුව මගින් කොන්දේසි පනවා තිබූ ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව ප්‍රදේශයේ පොල්තෙල් මෝලකට අයත් ඉඩමක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
දංකොටුව පොලිසිය පෙරේදා (29 වැනිදා) මෙම වැටලීම කර තිබේ. මෙම පොල්තෙල් වත්තල, එඩේරමුල්ල ලිපිනයේ පදිංචි නන්දන ජයසිංහ යන අයට අයත් එදිරිසිංහ එඩිබල් ඔයිල් ආයතනයට රේගුව මගින් නිදහස් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පරීක්ෂා කර මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ ලැබීමෙන් අනතුරුව වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවට වන කොන්දේසියක් පනවමිනි.
නමුත් එම කොන්දේසිය කඩකරමින් අදාළ ආයතනය මෙම පොල්තෙල් තොගය අඩංගු බවුසර් දෙක පසුගිය 25 වැනිදා දංකොටුව ප්‍රදේශයට ගෙනැවිත් ඇතැයි පොලිසිය කියයි. එදින සිට 29 වැනිදා දක්වා මෙසේ සඟවා තබා ඇත.
පොලිස් භාරයට ගෙන ඇති තෙල් තොගය රාගම ප්‍රදේශයේ සිට දංකොටුවට ගෙන ආ බව කියන රියැදුරන් දෙදෙනකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් රාගම සහ මොරගොල්ලාගම පදිංචිකරුවන්ය.
පොලිස් භාරයට ගත් තෙල් ලීටර් පනස්පන්දහසක් වන මෙම තෙල් තොගය සහිත බවුසර් දෙක රේගු නිවාරණ ඒකකයට භාරදීමට කටයුතු කර ඇත.
ජුඩ් සමන්ත -පුත්තලම
Comments
Post a Comment
Your comment will be visible after approval