dam-street-deadbody-kuruvita-buttala

අනියම් ඇසුර පැවැත්වූ තරුණිය ඝාතනය කර කොටුව වේල්ල වීදියේ මෘතදේහය අතැරදමාගිය බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා දිවිනසාගෙන ඇති බවට අද උදේ වාර්තාවූ අතර ඔහු සම්බන්ධ වැඩි විස්තර මේ වනවිට වාර්තාවේ.


අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති ඔහුගේ වයස 50 කි. ඔහුට අවුරුදු 18 පුතෙකු හා අවුරුදු දහයක දියණියක සිටී. ඔහු කුරුවිට තරුණිය සමග ඇසුර ගොඩනගාගෙන ඇත්තේ ෆේස් බුක් ඔස්සේ යොමු කළ මිතුරු ආරාධනයක් නිසා බවට ඇගේ නිවැසියන් දන්වා තිබේ.
කාලයක් තිස්සේ අවිවාහකයෙකු ලෙසට රඟපාමින් ඔහු මෙම කාන්තාව ඇසුරු කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඝාතකයා ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී දහයට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර ඔහු තනිවම එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන දහයට පමණය.
ඝාතනය සිදුකරන්නට ඇත්තේ එලෙස පිටව යෑමට පෙර බවට සැක කෙරේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවීමෙන් පසු විශාල ට්‍රැවලින් බෑගයද සහිතව සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි.  ත්‍රිරෝද රථය හංවැල්ල නගරයට ගමන් කළ පසු ඔහු බෑගය බස් රථයේ දමාගෙන ගෑස්පහ හන්දියෙන් බැස වේල්ල වීදිය වෙත පැමිණ තිබුණි.
සැකකරන ආකාරයට ඔහුට ඝාතනය ගැන සැලසුමක් තිබී නැත. මේ නිසා මෘත දේහයට කුමක් කරන්නදැයි නිසි කල්පණාවකින් තොරව එය රැගෙන ගොස් අතැර දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නවතැන්පොළේදී ඝාතනය සිදුකලායින් පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි නිරීක්ෂණය වන බවද පොලිසිය පවසයි.
මෙම ඝාතනය ගැන සැකසහිත රූප රාමු මෙන්ම සීසීටීවී දර්ශන ප්‍රචාරය වීමෙන් පසු හංවැල්ලේ නවාතැන්පොළේ අය කලබලවී ඇති අතරවාරයේ ඔවුන් බියට පත්කරවන සිදුවීමක්ද සිදුව ඇත. නවාතැන වෙත නාඳුනන කටහඩකින් දුරකථන ඇමතුමක් ලැබුණ බවත් එහිදී තර්ජනාත්මකව පවසා ඇත්තේ නැවතී සිටි අය ගැන තොරතුරු කිසිවක් පොලිසියට ලබාදී තිබුණොත් මරාදමන බවත් නවාතැන්පළ හිමිකරු දන්වා ඇත. එසේ කතාකරන්නට ඇත්තේ සියදිවිනසාගත් එස්අයි වරයා විය හැකි බවට පොලිසිය සැක කරයි.
 
විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන තිබුනි. පොලිසිය පනින බව දැනගෙන ඔහු එලෙස පැනයාමට සූදානම්ව සිටි බවක්ද හඳනාගැනුනේ ඔහු ලියුමක්ද තබාගොස් තිබූ නිසාය.
‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන් තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි ලිපියේ සඳහන් කර ඇත.

ඊයේ (02දා) රාත්‍රිය වන විට ඔහුව සොයා කැලෑව පීරමින් මෙහෙයුමක් අරඹා තිබුණු අතර ඔහුගේ දරුවන් හා බිරිඳද පොලිසිය සමග ඊයේ (02දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් අමතා ඇතත් ඔහු පැමිණ තිබුනේ නොමැත.


අනතුරුව ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි. මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
මියගිය පොලිස් පරීක්ෂකවරයා දක්ෂ බොක්ෂිං ක්‍රීඩකයෙකුවූ බවද ඔහු මීට පෙර ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇති අයෙකු බවද වාර්තා විය.

මෙම සිද්ධිය නිසා ඝාතනයට ලක්වූ තරුණිය ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි.
ඇය තරුණ සේවා සභාවේ සාමාජිකාවක බවද කාලයක් තිස්සේ ස්වේච්ඡාවෙන්  මිතුරන් හා එක්වී තාප්ප වල සිතුවම් ඇඳීම ආදී අලංකරණ කටයුතු වල නිරතවෙමින් සිටි බවත් පැවසිණි.
ඇය මෑත කාලයේ රැකියාවක නිරතවී නැති අතර මීට පෙර ඇඟලුම් ආයතනයක හා පුද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවන්හි නිරතවී ඇත. අවසන් වරට කඩුවෙල කොමියුනිකේෂන් එකක සිම්පත් අලෙවි නියෝජිතවරියක ලෙස සේවය කර ඇත.
ඇයට එම රැකියාවෙන් ඉවත්වන්නට සිදුව ඇත්තේ ඇගේ මව ඔත්පලවීම නිසාය. මීට මාස 6 ක පමණ පෙර සිට ඇය මව බලා කියාගනිමින් නිවසේ සිට ඇත. ඇගේ පියා මියගොස් තිබූ අතර ජීවත්ව සිට ඇත්තේ මව හා දේශපාලනඥ සහෝදරයා සමගිනි. ඇය පොලිස් නිලධාරියා හා මිතුරුවන්නේ මෙම නිවසේ සිටි කාලයේදීය.

නිවසේ අය මෙම සම්බන්ධය ගැන දැනසිටි නමුත් ඔහු විවාහකයෙකු බව දැන සිට නැත.
මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඇය අවසන්වරට පසුගිය 26 වනදා සිය ජංගම දුරකථනයෙන් සහෝදරයාට ඇමතුමක් ගෙන තමන් දැන් සිටින්නේ එරත්නේ බවට පවසා ඇත.

පෙම්වතා සමග නවාතැන්පළේ සිටියදී විවාහක බව හෙළිවීම හෝ වෙනයම් ප්‍රශ්නයක් මත මේ දෙන්නා අතර ආරවුලක් මතුවන්නට ඇති බවට අනුමාන කෙරේ.
මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව පොලිසිය අනුමාන කරන්නේ අධික රුධිර වහනයක් නොවීම නිසාය. එසේ වී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගය හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.
මේ වනවිට දෙදෙනාම මියගොස් තිබෙන අතර පශ්චාත් පරීක්ෂණ හා  විමර්ශන තවදුරටත් සිදුවේ.

පෙර විස්තරය පහතින්
මියගිය කුරුවිට තරුණිය හඳුනාගනී - ඝාතක බුත්තල එස්අයි අද උදේ දිවිනසාගනී