තම අනියම් පෙම්වතිය ඝාතනය කර වේල්ලවීදියේදී මළ සිරුර අතැර ගිය බුත්තල උපපොලිස් පරීක්ෂක ප්‍රේමසිරි මෙම ඝාතනය කලින් සැලසුම් කළ එකක් නොවන බව  සියදිවිනසාගන්නට පෙර සිය බිරියට ලියා තබා තිබුණි.කෙසේ වෙතත් ඔහු 27 වනදා රාත්‍රී 10 ට පමණ හංවැල්ලේ ලැගුම් හළට ගියාට පසුදා උදේ අවස්ථා තුනකදී එළියට ගොස් නැවත පැමිණි බව ලැගුම් හලේ ආරංචි වාර්තා කර තිබේ. 

ඉන් එක් අවස්ථාවකදී පමණක් අනියම් පෙම්වතිය සමග ගොස් පැමිණ තිබූ අතර අනෙක් අවස්ථා දෙකේදී එළියට ගොස් පැමිණ ඇත්තේ තනිවමයි. ඔහු එළියට ගිය වේලාවන් හංවැල්ල නගරයේ සීසීටීවී දර්ශන සමග ගැලපීමේදී ඔහු පිහියක් මිලට ගන්නා අයුරු හා ට්‍රැවලින් බෑග් එකක් මිලට ගන්නා අයුරු එක් තැනකදී සටහන් වේ.
මේ ගැන පොලිසිය සිදු කරන විමර්ශනය අනුව එම මිලට ගැනීම් සිදු කරන විටත් ඝාතනය සිදුකර අවසන් විය හැකි බවට අනුමානයක් පවතී. ඔහු පිහිය හා බෑග් එක ගන්නේ මළ සිරුර කාමරයේ තබා ගියොත් සියල්ල එළිවන නිසා සිරුර කපා ඉවත් කිරීමට යෙදූ උපාය අනුව විය හැකි බව දැන් ලැබී ඇති සාක්ෂි අනුව පෙන්නුම් කෙරේ.
ඔවුන් නැවතී සිටි කාමරයේ නාන කාමරයේදී ඝාතනය සිදු කරන්නට ඇති බව අද සිදු කළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවස්ථාවේ පොලිසියට නිරීක්ෂණය වී තිබේ. කෙසේ වෙතත් රසපරීක්ෂණ වාර්තා අනුව කාමරය ඉතා හොඳීන් සෝදා පිරිසිඳු කර ඇති අයුරුත් ඔහු ඒ සඳහා රසායන ද්‍රව්‍ය පවා යොදාගෙන ඇති බවත් හඳුනාගෙන ඇති අතර ඉතා සියුම් තැන් කිහිපයක පමණක් ලේ පැල්ලම් ඉතිරිව තිබී සොයා ගත හැකිවූ බව පොලිසිය සඳහන් කර තිබේ.
උප පොලිස් පරීක්ෂකවරයා හැකි තරම් සාක්ෂි සැඟවීමට උත්සාහ කර ඇති බවත් මේ මගින් දිස්වේ.
තරුණිය මියගිය පසු මළ සිරුර නහවා ඇති බවට සැක කෙරෙන බවද පොලිසිය සඳහන් කර තිබෙන අතර ඇගේ හිස කඳින් වෙන්කරන්ට ඇත්තේ හිස නැති සිරුරක් කෙනෙකුට හඳුනාගැනීමට අපහසු විය හැකි බැවින් අතැර දැමීමකදී සාක්ෂි තවත් වසන් වන නිසා විය හැකි යයි අනුමාන කෙරේ.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලි කර ගැනීමට හැකි වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයා
තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට රැගෙන ආ ත්‍රීරෝද රථයේ රියදුරුගෙනි.
තානායම පිළිබඳ ආරංචිය පොලිසියට ලැබෙන්නේද ඔහුගෙනි. ඔහුගේ ත්‍රීරෝද රථයේ තිබී ලේ පැල්ලම් කිහිපයක්ද පොලිසියට හඳුනාගන්නට ලැබී ඇති අතර සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට පැමිණීම සඳහා මෙම ත්‍රිරෝද රථයට නැග්ග වේලාවේ සිට තමන්ට සැකයක් පැවති බව ඔහු පවසා තිබේ.
මොහු වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු නොවූ අතර දිනපතා කොළඹට රැකියාවක් සඳහා පැමිණෙන්නෙකු
බව හෙළිව තිබුණි. ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් ලැබී ඇති නිසා ත්‍රිරෝද රථය සහ එහි රියදුරු පොලිස් භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.
ඔහු ලබාදුන් සාක්ෂි මත සිද්ධිය සිදුවූ තානායමට ඔහුත් සමඟ පොලිස් කණ්ඩායම් ගොස් ඇති අතර එහි අමුත්තන්ගේ තොරතුරු සටහන් කරන ලේඛණයේ ඝාතනයට ලක්වූ තරුණියගේ සහ සියදිවි හානිකරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සියලු තොරතුරු සටහන්ව තිබුණි.


27 වනදා රෑ යුවළ පැමිණ 1 වනදා උදේ මොහු පමණක් පිටව යාම ගැන නවාතැන්පොළට සැකයක් මුලදී පහළවී නැත. මුදල් ගෙවා යන අවස්ථාවේ කාන්තාව පිරිමියාට පෙර පඩිපෙළින් බැසයන්නට ඇතැයි සිතූ බව හිමිකාර කාන්තාව පවසා තිබේ. කෙසේ වෙතත් ඇය බියට පත්ව තිබුනේ 2 වනදා එනම් ඊයේ උදේ පාන්දර ඇයට ලැබුණ අමතුමකිනි. එහිදී මම අර කාමරයේ නැවතුණ කෙනා යයි පවසමින් උප පොලිස් පරීක්ෂකවරයා කරුණු විමසා ඇති අතර නැවතී යන අයගේ හැඳුනුම්පත් විස්තර පිටකරනවාද නැද්ද යන්න ගැන ඔහුට පැවති සැකයක් ගැන ප්‍රශ්න කර තිබුණි. ඒවා මකන්නට බැරිදැයිද ඔහු විමසා තිබුණ නමුත් ඇය එයට එකඟවී නැත.
තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල
පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමෙන් පසු තවම ඝාතනයවූ කාන්තාවගේ හිසත්, මිනීමැරුමට හෝ ගෙළ කැපීමට උපයෝගී කරගන්නට ඇති ආයුධත් හමුවී නැත.
සියදිවි හානිකර ගත් උප පොලිස්පරීක්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානයේ කොරෝනා මර්දන අංශයේ
ප්‍රධානියා ලෙස රාජකාරි සිදු කර ඇති අතර තම මවගේ තුන්මාසයේ දානමය පිංකම සඳහා දින 6ක
නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණි අවස්ථාවේදී මෙම අපරාධය සිදු කර ඇත.
තිදරු පියෙකු වන මොහු ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති අතර බුත්තල පොලිසියට අනුයුක්ත වීමට
පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ සහ  හේෂා විතානගේ ගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය
කර තිබෙන බවද තෙරතුරු හෙළිව ඇත.