මහබැංකු කොල්ලයට මේ වනවිට වසර හයක් ගතවී ඇතත් ඒ කොල්ලය සඳහා හඳුනාගත් වැරදිකරුවන්ට මෙතෙක් දඬුවම් ලැබී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පෙරේදා (27) පස්වරුවේ දී ඌරගස්මංහන්දිය නගරයේ  පැවති ජනහමුවක දී පැවසීය.   වෛද්‍ය ජයතිස්ස මහතා මෙසේ ද කීවේය. 

මහ බැංකු කොල්ලයට අදට අවුරුදු හයක් වෙනවා. මොනවද වෙලා තියෙන්නේ.

මුකුත්වෙලා නැහැ. මහ බැංකුව කොල්ල කෑ අය ඇතුළෙ ද? අර්ජුන් මහේන්ද්‍රන්ලා, අර්ජුන් ඇලෝසියස්ලා ඇතුළෙ ද? නැහැ ඒ වංචාව සිදු කළ කවුරුත් ඇතුළේ නැහැ.  ලංකාවට පකිස්තාන් ජනාධිපති ඉම්රාන් ඛාන් ආපු වෙලාවේ රජයේ අයයි මහ බැංකු වංචාවට සම්බන්ධ අයයි ඔය කට්ටියම එකට හිටියේ. මහ දවාලේ මහ බැංකු වංචාවට සම්බන්ධ අය ඇතුළට  දාවී කියලා අපට හිතන්න බැහැ. ආණ්ඩුවට අවශ්‍ය නම් ඕනතරම් පහසුකම් හා අවස්ථා තියෙනවා මහබැංකු කොල්ලයට සම්බන්ධ අය ඇතුළට දාන්න. එහෙම එකක් වෙන්නේ නැහැ.

ඒ නිසා 2015 පෙබරවාරි 27 වැනිදා මහ බැංකුව මහ දවාලේ කොල්ල කෑ බව විතරක් අපට සිහිකර කර ඉන්න පුළුචන් .එච්චරයි වෙන්නේ. පාස්කු ඉරිදා වාර්තවේ අඩුපාඩු වහගන්න ආණ්ඩුව කියනවා පාස්කු ඉරිදා කොමිසම පත් කළේ තමන් නෙමෙයි මෛත්‍රීපාල මහත්තයාගේ ආණ්ඩුවයි කියලා. ඇයි  දෙයියනේ මේ අයගේ ආණ්ඩුවත් වසර දෙකක්  යනකම්ම මේ කොමිෂම ක්‍රියාත්මක වුණානේ.

ඒකෙන් පේනවා මේ කොමිසන් වාර්තාවේ තියෙන අඩුපාඩුවලට මේ ආණ්ඩුවත් වගකියන්න ඕනෑ කියලා. මේ අයට මේ ප්‍රහාරය මෙහෙයවූවේ කවුද කියලා හොයන්න අවශ්‍යතාවක් නැහැ. ඒක පිටුපස  ඉන්න අන්තවාදීන් කියලා හොයන්න අවශ්‍යතාවක් නැහැ.

ඒවා අනිවාර්යයෙන්ම කොමිෂන් වාර්තාවේ තිබිය යුතුමයි. මොකද තවත් ඉස්සරහාට මේ වගේ ප්‍රහාරයක් එනවා නම් ඒක කලින්ම වළක්වා ගන්න උදවෙනවා. මේ අයට එහෙම වුවමනාවක් නැහැ. ජනතාව රැවටූ ආණ්ඩුවක් ඉතිහාසයේ තවත් නැහැ කියලා ජනතාව කියනවා. ලක්ෂ හැටනවයක ජනතාවම මේ ආණ්ඩුව රැවැට්ටුවා කියලා කියන්න ඔවුන්ම තමයි. දැන් ඒ නිසා බොහෝ අය අහනවා දැන් සැපද කියලා. ගිය ආණ්ඩුව කාලේ සැපද කියලා ඇහැව්වේ එක්කෙනයි.  කොරෝනා මර්දනය ඡන්දෙට කලින් ආණ්ඩුව මර්දනය කළා. ඡන්දෙන් පස්සේ එහෙම නැහැ. එන්නතවත් හරියට ගහන්නේ නැහැ. පී.සී.ආර්. පරික්ෂණ පරක්කුයි. ආසාධිතයන් ගෙනයාම පරක්කුයි. ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට උනන්දුවක් නැහැ යයි ජයතිස්ස මහතා කීවේය.


 -එම්. සුසිල් ප්‍රියන්ත-