wellawatte-lodge-incident

වැල්ලවත්ත කොලින්හුඩ් පෙදෙසේ ලැගුම්හලක නැවතී සිටි 23 හැවිරිදි තරුණියක 17දා රාත්‍රී හදිසියේ මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.මෙලෙස මියගොස් ඇත්තේ මහරගම, පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා ශිහානා (23) නමැති තරුණියක බව පොලිසිය සඳහන් කරයි. මියගිය තරුණිය සමග එම කාමරයේ සිටි බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයා එම ලැගුම්හලටම අයත් මිරිහාන ප්‍රදේශයේ ස්ථානයක සේවය කරන අතර ඔවුන් දෙදෙනා මෙම ලැගුම්හලට පෙරේදා පැමිණි කාමරයක නැවතී ඇති බව

විමර්ෂනවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

එම තරුණිය අසනීප තත්වයකට ප්‍රතිකාර ගනිමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම මියගිය තරුණියට හදිසියේ අසනීප තත්වය උත්සන්න වී තරුණයා ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඇය ඒ වන විටත් මියගොස් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.තරුණියගේ මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය. වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.

 (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)